Connect with us

Politics

කොරෝනා නිසා හැමදේම නතර කලොත් ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා.. අගමැති

Published

on

කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා 02 දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

රුපියල් මිලියන 445ක් සහ රුපියල් මිලියන 127ක් වැය කරමින් ඉදි කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව සහ පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික උමං මාර්ගය විවෘත කළ අග්‍රාමාත්‍යතුමා, රුපියල් මිලියන 4999ක වියදමෙන් කොටුව ලෝටස් මාර්ගයේ  මහල් 17කින් යුතුව ඉදිකෙරෙන “සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ” වැඩ ආරම්භ කරමින් මේ බව සඳහන් කළේය.

කපුදූව අන්තර් හුවමාරුව මාස 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ඉදිකර අවසන් කිරීම විශේෂත්වයක් වන අතර පේරාදෙණිය පදික උමං මාර්ගය ඉදිකිරීමට ගතවූ කාලය මාස 12කි. අද වැඩ ආරම්භ කළ සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය මාස 24ක් තුළ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී රෝහණ පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය ඕමාරේ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළ වදාළහ.

මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,

අපි රටක දියුණුව ගැන කතා කරනවිට ඒ රටේ යටිතල පහසුකම් සහ මාර්ග පද්ධතිය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. අපි මානව සංවර්ධනයෙන් පොහොසත් වෙනවා වගේම ඊට සමගාමීව භෞතික සංවර්ධනයෙන් ඉදිරියට යන්න ඕනි.

ඒ වගේමයි දේශීය නිෂ්පාදන ආර්ථිකය සවිබල ගන්වන්න නම් අනිවාර්යෙන්ම රටේ මාර්ග පද්ධතිය දියුණු කළ යුතුයි. අධිවේගී මාර්ග පද්ධතියෙ පහසුව විඳින ජනතාව මේ බව හොඳින්ම දන්නවා.එදා දුෂ්කරයි කියලා අතහැරලා තිබුණු ගම්මාන කීයක් නම් මේ අධිවේගී මාර්ග පද්ධතිය සමඟ දියුණු වුණා ද ? ඒ ජනතාවට අද රෝහලකට යන්නෙ, තමන්ගෙ ගොවිතැන් බෝග අලෙවි කරගන්නෙ, නගරය හා සම්බන්ධ වෙන්නෙ මේ අධිවේගී මාර්ග හරහා.

ඒ විතරක් නෙමෙයි පරම්පරා ගණනාවක් නොදුටු දියුණුව ගමට විවෘත කරන ප්‍රවේශයක් විධියටත් ජනතාව මේ අධිවේගී මාර්ග පද්ධතිය දකිනවා.

මිත්‍රවරුනි,

අද මේ ජනතා අයිතියට පත්වන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව එදා  මුලින් කරපු සැලසුමේ තිබුණෙ නැහැ. දිගින් දිගටම ඒ ප්‍රදේශයේ ජනතාව අන්තර් හුවමාරුවක් ඉල්ලමින් කරන පෙරැත්ත මාස කිහිපයකට කලින් ජොන්ස්ටන් ඇමතිතුමත්, ලාන්සා ඇමතිතුමත් මට ඇවිල්ලා කිව්වා.

ඒ නිසා මේ ගැන හොයල බලලා ඒ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාව ඉටු කරන්න කියලා අපි දැනුම් දුන්නා. කිසිදු දේපල අත්පත්කර ගැනීමක් නොමැතිව අද ඒ ජනතාවගේ බලාපොරොත්තුව මාස පහක් වගේ ඉතා කෙටි කාලයක් තුළ ඉටුකරන්න හැකි වීම ගැන අපි සංතෝෂ වෙනවා.

ඒ සම්බන්ධයෙන් කැපවුණු සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවිය යුතුයි.

මිත්‍රවරුනි,

දැන් කපුදූවේ ඉඳන් මාතර නගරයට දුර කිලෝමීටර් 7යි. මෙතන ඉඳන් කඹුරුපිටිය නගරයට තියෙන්නෙත් කිලෝමීටර් 10යි. ඒ විතරක් නෙමෙයි හක්මන නගරයට කිලෝමීටර් 17යි. ඔබ දන්නවා මේ නිසා මේ ප්‍රදේශ වල ජීවත්වන කෘෂිකාර්මික ජනතාවට මෙමගින් විශාල පහසුවක් සැලසෙනවා.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබාදීම රජය සතු වගකීමක් කියලයි අපි විශ්වාස කරන්නෙ. අධිවේගී මාර්ග පමණක් නෙමෙයි මේ රටේ අනෙකුත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට අපි මාර්ග ලක්ෂයේ වැඩපිළිවෙල ආරම්භ කළා. අදටත් එය අඛණ්ඩව ක්‍රියාත්මකයි.

පසුගියදා අපි කොළඹ නගරයේ අධික රථවාහන තදබදයට විසඳුමක් දෙන කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකරන්නත් මුලපිරුවා. දැන් ඒ මාර්ගයේ වැඩකටයුතු ආරම්භ වෙලයි තියෙන්නේ. ඒ එක්කම කොළඹ අධික වාහන තදබදය ඇතිවන ස්ථාන හඳුනගෙන ඒ තැන්වලට ගුවන් පාලම් ඉදිකරන්නත් අපි ආරම්භයක් ගත්තා.

මිත්‍රවරුනි,

කොළඹ විතරක් නෙමෙයි, මහනුවරත් රථවාහන තදබදය ඉතාම වැඩියි. අපි ඊට විසඳුම් දෙන්න ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කළා. පසුගියදා ගැටඹේ මංසන්දියට අපි ගුවන් පාලමක් දුන්නා.

ඒ ගුවන් පාලම විතරක් හදල පේරාදෙණියේ වාහන තදබදයට විසඳුමක් දෙන්න බැරි නිසා චීන එක්සිම් බැංකු ආධාරයක් මත පේරාදෙණිය රෝහල ඉදිරිපිටට අපි පදික උමං මාර්ගයක් හදන්න අපේ ඇමතිතුමා කටයුතු කළා.

නිතර වාහන තදබදයක් තිබුණු මේ ස්ථානය හරහා යන පදිකයන්ට  දැන් ආරක්ෂාකාරීව ගමන් කරන්න හැකියාව උදාවෙනවා.

ඒ විතරක් නෙමෙයි පේරාදෙණිය රෝහලට, ගැටඹේ රජ මහා විහාරයට, දහම් පාසලට, විශ්ව විද්‍යාලයට, බැංකුවට හෝ ඒ අසල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට යන පුද්ගලයන්ට මේ උමං මාර්ගය ඉතාම  ප්‍රයෝජනයක් පහසුවක් වෙලා තියෙනවා.

ජොන්ස්ටන් ඇමතිතුමා කිව්ව විධියට මෙම උමං මාර්ගය හදනකොට ඒ අවට හිටිය පදික වෙළදුන්වත් අපි අමතක කළේ නැහැ. අපි ඒ අයටත් උමං මාර්ගය තුළ වෙළදාමට ඉඩ සලසලා තියෙනවා කියලා  ඇමතිතුමා කිව්වා.

අපි මේ සංවර්ධන වැඩ කරනකොට විරුද්ධ පක්ෂයේ ඇතැම් උදවිය  ඒවා විවේචනය කරනවා. සමහරු කියනවා කොවිඩ් ඉවර වෙනකම් ඉන්නලු වැඩ කරන්න. පාරවල් හදන්න එපාලු. මෙහෙම කියන ඒවා අවංකව කරන යෝජනා ද නැද්ද කියලා මේ රටේ බුද්ධිමත් ජනතාව ඔබ හොඳින් දන්නවා.

මිත්‍රවරුනි,

කොව්ඩි වසංගතය පාලන කරන්න අපි මේ වෙන කොට රුපියල් බිලියන 262 ක් වැය කරල තියෙනවා. අපි සියලු ක්‍රියාමාර්ග ගන්නෙ මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න. ඔවුන්ගෙ ජීවිතවල වටිනාකම දන්න නිසා අපි එන්නත්කරණය අඛණ්ඩව සිදුකරනවා. ඒක අපි නතර කරන්නේ නැහැ.

කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා. අපි අපේ ජනතාව රැකබලාගන්නවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබෙනුත් අපට අවශ්‍යයයි. වසංගතයෙන් ආරක්ෂා වෙන ගමන් ඔබේ ශක්තිය රට වෙනුවෙන් නොපිරිහෙලා ලබා දෙන ලෙස අප ඔබෙන් ඉල්ලනවා. අපට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ.

ඒ නිසා අද ජනතා අයිතියට පත්කළ මේ ව්‍යාපෘති වගේම කොළඹ වරායේ අද වැඩ ආරම්භ කළ මහල් 17ක “සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය” ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු තවත් විධිමත් කිරීමට විශාල පිටුබලයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මාර්ගගත ක්‍රමවේදයට මුල්තැන දෙමින් ආරම්භ කරන මෙම මධ්‍යස්ථානයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආයතන සියල්ල එක් කළාම එහි කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවෙනවා. ඒ තුළින් ඒ ආයතන සමඟ ගණුදෙනු කරන සියලු දෙනාට ඉන් විශාල පහසුවක් උදාවෙනවා.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

කොරෝනාවෙන් මිය යන සෑම ජීවිතයක් ගැනම රජය වගකිව යුතුයි.. රංජිත් අලුවිහාරේ..

Published

on

By

වසරකට වැඩි කාලයක් තිස්සෙ පවතින කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වූ රජයේ දුර්වල කලමනාකරණය නිසාම සියලුම ජටේනතාවගේ ජීවිත විශාල අවධානමකට ලක්ව තිබෙනවා. මේ තත්වයට සම්පූර්ණයෙන් වගකිව යුතු වන්නේ ජනපතිවරයා ඇතුලු කැබිනට් මන්ඩලය බව මා තරයේ කියා සිටිනවා.

පලමු දෙවනි රැලි වලදී මෙන්ම මේ අවස්තාවේදීත් රජය කටයුතු කරන්නේ  පුල්ලි ගොනා ගෙට පැන්නා මෙන් කිසිදු වගවීමකින් තොරවයි.

වසංගතය ක්‍රමානුකූලව පාලනය සදහා අවශ්‍ය සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම වෙනුවට රජය මුල සිටම කලේ අත්තනෝමතික හිතුවක්කාරී අන්දමින් රෝගය පැතිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීමයි. එමෙන්ම සංචරණයන් නිසි ලෙස නිසි අවස්තාවේ පාලනය නොකර කඩින් කඩ සීමා පනවමින් වැරදි පූර්වාදර්ශයක රජය කටයුතු කලා.එමෙන්ම  රෝග පාලනය සදහා අවශ්‍ය හදිසි එන්නත්කරන වැඩසහනට කිසිදු පෙර සූදානමක් තිබුනේ නෑ.

අවශ්‍ය තරම් එන්නත් අවශ්‍ය අවස්තාවේදී ආනයන නොකර නිද්‍රාශීලිව පසු උන ආණ්ඩුව එන්නත්කරන වැඩපිලිවෙල හමුදාව මත පටවා දේශපාලනිකව පම්පෝරි ගසමින් තම වගකීම පැහැරහැර  කටයුතු කර තිබෙනවා. එමෙන්ම කිසිදු හදිසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රියාවලියකට සෞඛ්‍ය සේවාව සූදානම් නොකොට එන්නත් කරනයේ සංක්‍යාලේකන භාවිතකරමින් දෛනික රෝගීන් සහ මරන ගනන සගවමින් ජනතාව නොමා යැවීමට කැබිනට් මන්ඩලයම කටයුතු කරමින් සිටිනවා.

මේ වනවිට දිනකට රෝගීන් 2000  ඉක්මවා වාර්තාවන තත්වයක් තුලත් රජය PCR පරීක්ෂණ විදිමත්ව වැඩිකිරීමට කිසිදු පියවරක් අරගෙන නෑ.එමෙන්ම පෙර සිදුකල පරීක්ෂණ ගනනවත් කිරීමට අවශ්‍ය පහසුකම් රජය විසින් සපයා නෑ.

සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් කිසිවක් ගනන් නොගන්නා රජය ඔවුන්ගේ ගරුත්වයත් පරිහානීයට යවමින් සෞඛ්‍ය අංශ කෙරෙහි තිබුන ජනතා විශ්වාසයද බිද හෙලා තිබෙනවා.එමෙන්ම එදා යුද්ධය ජයගෙන රටට කීර්තියක් ගෙනා රනවිරුවන් පිලිබදව තිබූ ජනතා විශ්වාසයද රජයේ මේ වැඩපිලිවෙල නිසා අද බිදවැටෙමින් පවතිනවා.

මා යෝජනා කරන්නේ මේ මොහොතේ හෝ සෞඛ්‍ය අංශවලට කොවිඩ් පාලනය භාර දී රජයේ දේශපාලන ක්‍රියාවලියෙන් එය නිදහස් කරන ලෙසයි.අනෙක් කාරණය නම් එන්නත්කරන වැඩපිලිවෙල ශක්තිමත් කර පාසල් සිසුන් සහ කුඩා දරුවන් මාරයාට බිලිවීම වලක්වා ගන්නා ලෙසයි.රජය නිසි පියවර නොගැනීම හේතුවෙන් මේ වනවිටත් ජීවිත 4500 ක් පමන අපිට අහිමි වී අවසන්. ඒ හැම ජීවිතයක්ම බේරාගත හැකිව තිබූ නමුත් රජයේ දුර්වල කලමනාකරණය නිසා අපිට අහිමි වූ ඒවායි. එබැවින් ඒවාගේ වගකීම භාරගන්නා ලෙසත් ඒ පවුල්වලට යුක්තියක් ඉටුකරන ලෙසත් මා අවධාරණය කරනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා මේ බව පැවසුවේ පසුගියදා දඹුල්ලේ ගොවීන් පිරිසක් හමුවූ අවස්තාවේදීයි.

නලින්ද රාජපක්ෂ – මාතලේ

Continue Reading

Politics

සිරිකොත යළි ඇවිලෙයි.. රනිල් මේ පාරත් අපිව ඇන්දුවා..

Published

on

By

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂය තුළ ගිනි පුපුරු මතුවෙමින් තිබෙන බවයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මුල් කොටගෙන.

ඉලක්ක වෙත ළඟා වීමට නොහැකි වීම

පසුගිය මහ මැතිවරණයේදී එ.ජා.ප යට ලැබුණු එකම මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම හරහා බලාපොරොත්තු වූ ඉලක්ක කිසිවක් ළඟාකර ගන්නවා තබා ඒ පිළිබඳව ඉඟියක්වත් පළ නොවීම සම්බන්ධයෙන් එ.ජා.පය තුළම මතයක් නිර්මාණය වෙමින් තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඉතා කෙටි කලකින් අවම වශයෙන් සමගි ජන බලවේගයේ 10 -15 අතර පිරිසකගේ සහය ලබාගෙන සමගි ජන බලවේගය තුළ අර්බුද ඇති කිරිම වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කළ යුතු යැයි යෝජනා සම්මත කළ අයගේ අරමුණ හා ඉලක්කය වුණා.

එක මන්ත්‍රී කෙනෙකුගේවත් සහය නැහැ

එහෙත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට වික්‍රමසිංහ මහතා ගෙන ආ සංශෝධනය සම්මත කර ගැනීමට සමගි ජන බල වේගයෙන් තබා සමස්ත විපක්ෂයෙන්ම මන්ත්‍රීවරයකු සොයා ගැනීමට වික්‍රමසිංහ මහතාට නොහැකි වීම සම්බන්ධයෙන් එ.ජා.පය තුළ බරපතළ කතිකාවතක් ඇති වෙමින් තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

සමගි ජන බලවේගයේ සැලකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වික්‍රමසිංහ මහතා සමග එකතු වන බවට විශේෂයෙන්ම එ.ජා.ප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රසිද්ධියේම කළ ප්‍රකාශයද මේ වන විට එ.ජා.පය තුළ විහිළුවක් බවට පත් වී තිබෙන බවත් වාර්තා වනවා.

යළිත් සුපුරුදු රැවටිල්ල

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට මුල් වී කටයුතු කළ දැනට එ.ජා.පය තුළ ඉතිරිව සිටින ජේෂ්ඨයන්ද පවසන්නේ වික්‍රමසිංහ මහතා යළිත් වතාවක් සුපුරුදු ලෙස තමන්ව රැවටු බවයි.

වික්‍රමසිංහ මහතාව එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමත් සමග ඒ සඳහා සුදුසුකම් ලබා සිටි වික්‍රමසිංහ මහතා හා සමාන ජේෂ්ඨත්වයක් ඇති ජෝන් අමරතුංග මහතාද පක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඈත් වෙලයි සිටින්නේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුහුණ දෙන පාස්කු ඉරු දින ප්‍රකාශය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් මැදිහත් වී ඔහු හරහා සමගි ජන බලවේගය තුළ යම් ගැටුමක් නිර්මාණය කිරීමේ උත්සාහයක මේ දිනවල වික්‍රමසිංහ මහතා නිරතව සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

am.lk

Continue Reading

Politics

මීළඟට එන ආණ්ඩුවක් ගැන මෛත්‍රීගෙන් ඉඟියක්..

Published

on

By

මීළඟ ආණ්ඩුවක් ගැනීම පිළිබඳව ඉඟියක් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළ කර තිබෙනවා.

ඒ රට මුහුණ දී සිටින ආර්ථික අර්බූදයට මීළඟට පැමිණෙන ආණ්ඩුවකට විසඳුම් ලබා දිය හැකිද යන්න තමන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන බව සඳහන් කරමින්.

උදාහරණ සහිතව විසඳුම් පෙන්වීම

ඊට හිටපු ජනපතිවරයා පිළිතුරු දෙන්නේ තමන් ජනපති ධුරය දරද්දී කටයුතු කළ ආකාරය උදාහරණ සහිතව පෙන්වමින්.

එදා තමන්ගේ රජයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබුණේ තමාට හෝ තමන් දරපු ජනපති ධූරයට නොව තමන් අනුගමනය කළ ප්‍රතිපත්තියට බවයි සිරිසේන මහතා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර සබඳතාවයේ වැදගත්කම

රට මුහුණ දී සිටින ප්‍රධානම ප්‍රශ්නය වන විදේශ සංචිත හිඟකමට පිළියම් සෙවීමේදී පළමුවෙන්ම අවධානය යොමු කළ යුත්තේ ජාත්‍යන්තර සබඳතා වලට බවයි හිටපු ජනපතිවරයාගේ අත්දැකීම වන්නේ.

ඒ හරහා බොහෝ රටවල් වලින් උදව් උපකාර ගත හැකි බව හිටපු ජනපතිවරයා පෙන්වා දෙන්නේ තම පාලනය යටතේ ඇති වූ පොහොර හිඟයට පාකිස්ථානයෙන් උදව් ලබා ගත් ආකාරය සහ ගෑස් ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේ කටාර් රාජ්‍යයෙන් ඊට කඩිනම් විසඳුම් ලබාගත් ආකාරය මතක් කරමින්.

පොහොර හා තෙල් අඩු මිලට

පොහොර හා තෙල් ඉතාමත් අඩු මිලට ජාත්‍යන්තරයෙන් ලබා ගැනීමට හැකිවූයේ තම පාලන කාලයේ බවයි හිටපු ජනපතිවරයා පෙන්වා දෙන්නේ.

හිටපු ජනපතිවරයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කරමින් සිටිනවා.

am.lk

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk