Connect with us

Covid-19

කොරෝනා මැද තවත් වසංගතයක් පැතිරේ.. රෝහල් ඉඩ නෑ..

Published

on

කෝවිඩ් වසංගතය පවතින මේ කාලයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇති බවට වාර්තා වෙනවා. මෙය අප මීට පෙර මුහුණ නොදුන් ආකාරයේ ඉතා බරපතළ තත්ත්වයක් වීමට හේතු කිහිපයක්ම තියෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ලංකාව ඩෙංගු අධි වසංගත තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා. ඒ අවස්ථා වලදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව ඩෙංගු මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වුණේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සහ මේ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ සෞඛ්‍ය සේවකයන් යෙදවීමෙන්. ඒ වගේම අවශ්‍ය දැඩි සත්කාර පහසුකම් ඉතා බහුල වශයෙන් ඩෙංගු වෛරසය සඳහාම වෙන්කිරීම තුලින්.

රක්තපාත තත්ත්වයේ සිටින ඩෙංගු රෝගියෙකුගේ ජීවිතයත් මරණයත් අතර තීරණය ගැනෙන්නේ ඔහුගේ ශරීරයේ තරල කාන්දුවීමේ වේගයට ගැලපෙන වේගයකින් ශරීරයට අවශ්‍ය තරල ලබාදීම මතයි. දිනකට බොහෝ වතාවක් පරීක්ෂණවලට භාජනය කරමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ දැඩි නිරීක්ෂණය යටතේ මෙය කළ යුතු වෙනවා.

මෙවර ඩෙංගු වසංගතයක් ඇති වුවහොත් ප්‍රධානම ගැටලුව මතුවන්නේ මෙතැනදියි. වෙනදාට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙහි නියැලෙන රෝහල් වල විශේෂ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයෙන් බොහෝ දෙනෙක් වගේම, වෙනදාට ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන වසංගත රෝග විද්‍යායතනය (IDH රෝහල), ශික්ෂණ රෝහල් ඇතුළු තෘතීක හා ද්විතීක මට්ටමේ රෝහල් බොහොමයක් මේ වන විට කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කර්තව්‍යයෙහි දැඩි පරිශ්‍රමයකින් නියැලී සිටිනවා. මේ අතරතුර ඩෙංගු අධි වසංගත තත්ත්වයකුත් ඇති වූවොත්, රෝගී සත්කාර සේවාවන් ඉතා ගැටළු සහගත තත්වයකට මැදිවීමක් සිදු වන්න පුළුවන්. මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුවහොත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ තියෙනවා.

ඩෙංගු රෝගය නිසා කුඩා දරුවන්ගේ ජීවිත වඩාත් බරපතල ලෙස තර්ජනයට ලක්වෙනවා. පහසුවෙන් අප අපටම වළකාගත හැකි ඩෙංගු වසංගත තත්ත්වයක් නිසා, අපගේ ආදරණීය දරුවන් හට ජීවිතය වෙනුවෙන් සටන් කිරීමට සිදුවන තැනකට එළඹීමට ඉඩ තිබෙනවා. එවන් දිනක සිතේ ඇතිවන පසුතැවිල්ලට වඩා අද දිනයේ ක්‍රියාත්මක වීමේ ඇති වටිනාකම අප අමුතුවෙන් විස්තර කර දිය යුතු නැහැ.

වෙනදා ගෙයින් ගෙට ඇවිත් ඩෙංගු බෝවෙන ස්ථාන හඳුනා ගන්නා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල වල කණ්ඩායම්, අද එන්නත්කරණ කටයුතු වල වගේම කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ කටයුතුවල දැඩි පරිශ්‍රමයකින් නියැලී සිටිනවා. මේ නිසා අපේ නිවෙස් ආශ්‍රිත පරිසරය, අපේ දරුවන්ගේ ජීවිතයට අනතුරක් නොවන ලෙස සැකසීමේ වගකීම වෙනදාටත් වඩා අප වෙත යොමු වෙනවා.

වසංගත දෙකක් එක මත අතිපිහිත වීමේ භයානක අවස්ථාවකට එලඹීමට ඉඩ ඇති මේ මොහොතේ, රටේත් අපේ දරුවන්ගේත් අවසන් ආරක්ෂක පවුර වීමට අපට අවස්ථාව එළඹී තිබෙනවා. ඒ වෙනුවෙන් ඉදිරියට ඒම හා ක්‍රියාත්මක වීම මත අපේ දරුවන්ගේ ජීවිත රඳා පවතිනවා.

මේ ඩෙංගු හිස එසවීමේ අවදානම අධි වසංගත තත්ත්වයක් වීමට ඉඩ නොදී නැවතීමට කළ යුතු දේ ඉතා සරලයි. අනෙක දැන් පවතින කෝවිඩ් පාලනය සඳහා වන සංචරණ සීමා මෙයට වෙස්වලාගත් ආශිර්වාදයක්.

දරුවන් සමඟ නිවසෙහි ගතකරන මේ වේලාව, නිවස තුළ මෙන්ම මිදුලෙහි මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා විනාශ කිරීමට යොදවන්න අපිට පුළුවන්. ජලය එකතු විය හැකි කොන්ක්‍රීට් පෘෂ්ඨයන් වගේම වැහිපිහිලි හා මල් බදුන් පරික්ෂා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතයි. අපිට පහසුවෙන් මග හැරිය හැකි මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ විස්තරයක් ඉදිරියේදී ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.

නිවසේ සිටින දරුවන් උදයේ හෝ හවස මිදුලේ දුව පනිමින් ක්‍රීඩා කරනවා නම් අනුමත මදුරු විකර්ශක භාවිතා කිරීම වගේම ශරීරය ආවරණය වෙන පරිදි ඇඳුම් ඇන්දවීමත් ඉතාමත් සුදුසුයි.

උණ රෝගයක් වැලඳී දින දෙකකට වඩා පවතිනවා නම් එය ඩෙංගු වීමේ අවදානමක් තිබෙනවා. කෝවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙනවා වගේම මෙවැනි අවස්ථාවල නොපැකිළිව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ජීවිතය ආරක්ෂා කර ගැනීමට හේතුවක් වනවා.

මේ ගෙවී යන්නේ ඉතාමත්ම තීරණාත්මක අවධියක්. අපගේ වගේම දරුවන්ගේත් ජීවිත වල වගකීමත අප කරමතින් දරාගත යුතු අවස්ථාවක්. සංචරණ සීමා යෙදී ඇති මේ දිනවල අපේ නිවෙස් තුළ හා අවට පරිසරය පිරිසිදු කර ගැනීමට දැන්ම යොමු වෙමු. අද කළ යුතු දේ ‘අදම කිරීම’ හෙට දිනෙක පසුතැවිලි නොවීමට හේතු වනවා ඇති.

– සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය

Covid-19

වාතය හරහා පැතිරෙන කොරෝනා ප‍්‍රභේදයක් ලංකාවේ..

Published

on

By

වාතය හරහා පැතිරීම සිදු වන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුනාගෙන ඇති නව කොරෝනා වෛරස ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියි.

එනිසා වෛරසයෙන් ආරක්ෂාව සඳහා සෑම විටම සෞඛ්‍ය මාර්ගඋපදේශ පිළිපදින ලෙස ද ඇය දැඩිව ඉල්ලා සිටියාය.

අවවශ්‍ය සෑම විටම මුව ආවරණ පළදින ලෙසද පවසන ඇය නව වෛරස ප්‍රභේදය ආසාදිතයන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් වැඩි යයිද තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවද කියා සිටියාය.

ඇය මෙම අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Continue Reading

Covid-19

වහාම ඇදිරි නීතිය පනවන්නැයි දන්වයි.. සංචරණ සීමාවෙන් කිසිදු පලක් නෑ..

Published

on

By

ශ්‍රී ලංකාව තුළ පාලනය කරගත නොහැකි තරමේ කොරෝනා ආසාදිතයන් භාවිතා වීම හේතුවෙන් පසුගිය 25 වන දා සිට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අගුළු දමා තිබුණ ද එය නමට පමණක් සීමා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙසේ සංචාර සීමා පැන වූ අරමුණ කුමක්දැයි බලධාරීන්ටත් මහජනතාවටත් සියලු දෙනාටම අමතක වූ ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී.

සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නමට පමණක් යැයිද පවසන ඔහු අද වෙද්දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන විවෘතව ඇති බවත් බොහෝ පිරිස් මහමග ගමන් කරමින් සිටින බවත් පැවසීය.

‘අත්‍යවශ්‍ය සේවා’ යන ලේබලයට මුවා වී කිසිසේත්ම අත්‍යවශ්‍ය නොවන ආයතන විශාල ප්‍රමාණයක් සියළු සේවකයන් කැදවා සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

මෙම තත්වය යටතේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණට කිසිසේත්ම යා නොහැකි බව ද පවතින තත්වය යටතේ එළැඹෙන සතියේ අග වෙද්දි රෝගීන්ගේ අඩු වීමක් බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු කියා සිටී.

මේ තත්ත්ව යටතේ දැන් සිදු කළ යුතුව ඇත්තේ නිරෝධායන ඇදිරි නීතිය පනවා ගමන් බිමන් සම්පූර්ණයෙන්ම සීමා කිරීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

Covid-19

රුපියල් 5000ක් අයකර ව්‍යාජ එන්නත් විදිල්ලක්..

Published

on

By

රුපියල් 5000 බැගින් අය කරමින් ලබා දෙන කොරෝනා එන්නතක් මෙරට නොමැති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එසේ මුදල් අයකර ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් වළකින ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ මුදල් ලබාදී එන්නත් ලබා ගැනීමට පෙළඹීමත් තුළින් එවන් පුද්ගලයන් තව තවත් එම කටයුතුවලට උනන්දු වන නිසා එලෙස ලබා දෙන්නේ සැබෑ එන්නත්දැයි බරපතළ ප්‍රශ්නයක් ඇති බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම එම එන්නත් තුළින් යම් ආකාරයක ආසාත්මිකතා මතුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැටලුකාරී බව ද ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk