Connect with us

Woman

රිදුම් දෙන මතකයන් වල සුන්දර වචන එකතුව..

Published

on

ඔන්න ආදරණීය ඔබ වෙතට අද සිට අපි කෙටි කතා කිහිපයක් ගෙන එනවා මේ ලස්සන කතාංග ලියන්නේ ඉඳුසරා කරුණාරත්න. මං ආරාධනා කරනවා මෙම කතා කියවලා රස විඳින්න කියලා……..

මුල්ම කෙටි කතාව

සයුරු කොනක.. (නපුරු හිත්වලත් ආදරය තිබුණා මහමෙරක්)

“කරුණාකරලා ෆෝන් එක තියන්න.මාව කේන්තිගස්සන්නේ නැතුව.””අනේ චුට්ටක් අහන්නකෝ මන් කියන එක.””මන් කිව්වේ ෆෝන් එක තියන්න කියලා….””මට බෑ….” ආ….එහෙනන් මන් තියන්නන් මෙයා පුදුම කෙනෙක්නේ…ඔච්චරටම කේන්ති ගන්න දෙයක් මන් කිව්වේ නෑනේ….”

ඒ තමයි මගේ රෝමියෝ මගේ පණ..ටිකක් නපුරුයි හැබැයි මට ගොඩක් ආදරෙයි ….එයා තමයි මගේ ලෝකේ….මන් දන්නවා එයා ආයෙත් මට කතා කරනවා කියලා…කේන්තිය තියෙන්නේ පොඩි වෙලාවයි….එයා ගැන මන් තරන් හොදට වෙන කවුද දන්නේ…මට මාව තේරුන් ගන්න බැරි උනත් එයාවනන් හොදටම තේරෙනවා……. (මේක ටිකක් විතර අමුතු කතාවක්..ගොඩක් අය කියනවනේ නපුරු අය ලග ආදරේ චුට්ටක්වත් නෑ කියලා…ඒක ඇත්‍තක් නෙවෙයි කියලා කියන්නයි මට ඕන. එයාලා ලග තමයි ආදරේ ගොඩක්ම තිබුනේ……..)

“හලෝ….මොකද කරන්නේ ඔයා…”දැන් තමයි මතක් වෙලා තියෙන්නේ…මන් කිව්වේ එයා මට කොයි වෙලේ හරි කතා කරනවා කියලා. චුට්ටක් කේන්තියෙන් වගේ කතා කරන්න ඕන කියලා හිතුනට පව්නේ….මට එහෙම කරන්න බෑ….”මන් හොදින් ඉන්නවා…මොකෝ මට අරම සැරෙන් කතා කරේ…””එවේලේ මන් හිටියේ ඩියුටි..දැන් තමයි ඕෆ් උනේ…”දැන් ඔයා කොහෙද ඉන්නේ නැවේද?””හ්ම්ම්…දැන් තමයි වැඩ ඉවර උනේ…ආයෙත් 12.00ට ඩියුටි….””හරි එහෙනන් ඔයා නිදා ගන්න….නැගිට්ට ගමන් මට මැසේජ් එකක් දාන්න හරිද?””හ්ම්ම් හරි..මන් තියන්නන් එහෙනන්….”ඉතින් කොහොමද කියන්න මන් බනින්නේ…එයා ගොඩක් දුක් විදින කෙනෙක්…එහෙම කෙනෙක්ට ආදරේටවත් පුංචි දඩුවමක්වත් දෙන්න හිත හදා ගන්නේ කොහොමද?….

ඒ තමයි අපේ ආදරේ….එයා ගොඩක් බිසී. හැබැයි වෙලාවක් හම්බුන ගමන් මට කතා කරනවම තමයි…බනින්නත් බෑහ් මොකද මන් එයාවයි එයාගේ ජොබ් එකයි හොදට තේරුන් අරන් ඉන්න නිසා….. හමුදාවේ කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එකත් කරන්න අමාරුයි නෙවෙයි කරන්න බැරි වැඩක්….. එයාගේ ආදරේ කවදාවත් මට වචනෙන් කියලා නෑ…….හැබැයි එයාගේ හැම වචනයකම ඒ ආදරේ මහ මෙරක් වගේ දැනුනා මට………

“පාන්දර 3යි…..මෙයා මොනා කරනවද මෙච්චර පාන්දර…..” දැන් ඉතින් මට නින්ද යන එකකුත් නෑ….”මොකද කරන්නේ පාන්දර…””මන් තාම ඩියුට්…4ට ඉවර වෙන්නේ””මොකද්ද? දෙයියනේ කොහොමද ඔහොම ඉන්නේ…..සීතල නැද්ද?” පාන්දරට ගොඩක් සීතලයිනේ කොහොම දරා ගන්නවද කියලා හිතා ගන්න බෑ….”සීතලයිනන් තමයි…ඒත් දැන් පුරුදුයි…මොනවා කරන්නද?…මේක මගේ රාජකාරිය….” එවෙලේ මට දැනුනු වේදනාව වචනෙන් කොච්චරක්ද කියලා කියන්න බැරි තරන්….මේ තරන් දුක් විදින්න ඕනද මිනිස්සු සල්ලි හම්බකරන්න….කමක් නෑ එයා ඒ දේවල් කරන්නේ තමන්ගේ රට වෙනුවෙන් නේද කියලා හිත හදාගෙන කදුලු පිහිදගන්න තරන් මන් ශක්‍තිමත් වෙලා කියලා හිතෙනකොට ඒ හැමදේම ආදරේ නිසා ඉගෙන ගත්ත දේවල් කියලා මතක් වෙද්දි එයාට මගේ හිතේ තිබ්බ ආදරේ තවත් වැඩි වෙනවා…….

“මන් අද මුහුදට යනවා….””ආයෙත් එන්නේ කවද්ද?” මන් ගොඩක් වෙලාවට එයාගෙන අහපු ප්‍රශ්නේ ඒක….මොකද මුහුදට ගියාම එයාගෙන් මැසේජ් එකක්වත් කෝල් එකක්වත් නෑ කියලා මන් දන්නවා……ආයෙත් එනකන් බලන් ඉන්නවා ඇරෙන්න ඇත්තටම වෙන කරන්න කියලා කිසිම දෙයක් තිබුනේ නෑ….”පරිස්සමෙන් ගිහින් එන්න…ඔයා එනකන් බලන් ඉන්නවා….”ඇත්තටම වෙන මොනවා කියන්නද…මන් අසරණයි…. මට එයාගේ රස්සාව ගැන පොඩි කේන්තියක් ආවා..ඇයි දෙයියනේ කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ, කොහොමද මෙහෙම ආදරේ කරන්නේ….. ඒත් ආදරේ කරන අයට කොච්චර දුර හිටියත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා මන් කොහේහරි තියනවා දැක්කා…..ඒත් කොහොමද එහෙම ඉන්නේ…. මට ඒක හරිම අමුතුයි….

මගේ අභිමාන…. ආදරේට කියන්නේ අභී කියලා එයා තමයි මගේ හැමදේම උනේ…ඒත් මොනවා කරන්නද අපි හැමෝටම දෛවය කියලා එකක් තියනවනේ..අකමැත්තෙන් හරි අපිට ඒකට කැමති වෙන්න වෙනවා….මගේ දෛවය ලියපු කෙනා අහු උනානන්…

“ඔයා ආවද” “නෑ තාම මුහුදේ….” “කොහොමද එහෙනන් කතා කරන්නේ, නැවට සිග්නල් නෑ නේද?” “ලෑන්ඩ් එක කිට්ටුවෙන් යද්දි සිග්නල් අහුවෙනවා…” “හ්ම්ම්….තව දවස් කීයක් යයිද එන්න…””තව දවස් 4කින් විතර එනවා…”ඒ වචන ටික ඇහෙනකන් මන් කොච්චර බලන් හිටියද?..ඒ තමයි අපේ ආදරේ…ලග හිටියේ නැති උනාට එයාගේ හදවත මන් ලග කියලා මට හැමවෙලේම හිතුනා…..මෝඩ කතාවක් තමයි..ඒත් ආදරේදි ගොඩක් අය මෝඩයි…..

සමහර වෙලාවට ලස්සන වචනවලින් කතා කරනවා හරියටම පද පේලි ගලපලා ලියපු අවසානයක් නැති කවියක් වගේ….ඉතින් මටම පුදුමයි…ඒ වචන හිතා ගන්න බැරි තරන් ලස්සනයි…හැබැයි ආදරේ ගැන වචනයක් කියන්න කියලා කිව්වොත් එතනදි ගොඩක් වෙලාවට ගොලුයි…මෙච්චරටම නපුරු කොල්ලෙක් කොහොමද මේ තරන් ලස්සනට කතා කරන්නේ……ආදරේ ගැන වචනෙන් කියන්න බැරි උනා කියලා ඒ හදවතේ ආදරයක් නෑ කියලා කියන්න පුලුවන්ද?… “ෆෝන් එකේම හිටියා ඇති…ගිහින් පාඩන් කරන්න…එක්සෑම් ලගයි නේද?”මන් එයත් එක්ක කොච්චර ආසාවෙන්ද කතා කරන්නේ…ඒත් හැමවෙලේම කියන්නේ ඕක තමයි….එයා කියන කතාවත් ඇත්ත තමයි….මොනවා කරන්නද කියන දේ අහන්නම වෙනවනේ…. එතනදි මන් තමයි වැරදි…කොහෙද ලව් කරන්න ගියාම ඉන්න තැනත් මතක නෑනේ….

“මටනන් දැන් මේක එපා වෙලා තියෙන්නේ…කිසිම නිදහසක් නෑ….ඉක්මනටම මන් අයින් වෙනවා…කොහොමහරි වෙන ජොබ් එකක් හොයා ගන්නවා…” නැවට ගියාම එයාට මුකුත් මතක නෑ..කාවවත් පේන්න බෑ..අඩුම තරමේ මේ මාවවත්…ඒත් එහෙම වෙලාවට දුරින් ඉදන් හරි මන් එයත් එක්කම ඉන්නවා කියලා කියන්නයි මට ඕන උනේ…. මොනවා කරන්නද මාත් අසරණයි….හැබැයි පුලුවන් හැමවෙලේම මන් එයා එක්ක හිටියා…එයාගේ හැම ප්‍රශ්නයක්ම කිව්වේ මට…ඒ හැම ප්‍රශ්නෙකටම සාර්ථක පිලිතුරක් මන් ලග තිබුණා….මොකද මාත් ඉතින් ලව් ස්ටෝරි කියවලා තියනවනේ….. නිකන් ජුලියට් වගේ කියලා හිතන් හිටියේ…මොනවා කරන්නද වයසේ වැරැද්ද?…. සමහර වෙලාවට මට ටයිටැනික් නැවේ කතාවත් මතක් වෙනවා….ඒකේ ජැක් අන්තිමට මැරුනනේ…නැව කියන වචනේ දැක්කත් මතක් වෙන්නේ මගේ අභිමාන…අපේ කතාව ටයිටැනික් කතාව වගේ නෙවෙයි නේද කියලා හිතලා හිත හදා ගන්නවා…..

“දැන් කොහොමද විහඟි උබලා දෙන්නගේ ලව් එක….”ඒ තමයි මගේ යාලුවෝ…උන්ගේ වැඩේම ඉතින් ඕක අහන එක….මොනවා කරන්නද කරුම තියනවනන් ඒවා ගෙවන්න එපැයි….හැබැයි උන් දන්නවා මන් අභීට ආදරේ කරේ ඇත්තටම කියලා…..ඇත්තටම ආදරේ කරන අය කවදාවත් එකතු වෙන්නේ නෑ කියලා මන් දැන ගන්නකොට අවුරුදු 17යි මාස 3යි දවස් 4ක් වගේ….ඒක ඇත්තක් උනොත්…නෑ නෑ පිලිගන්න බෑ එහෙනන් කොහොමද ලව් කරපු කපල් කසාදත් බැදලා තව බබාලත් හදන්නේ…. අපේ මාමයි නැන්දයිත් බැන්ඳේ යාලු වෙලා ඉදලා…එයාට මගේ වයසේ ලමයෙක් ඉන්නේ…එහෙම හිතලා හිත හදා ගන්නවා…

“මන් ගෙදර එනවා….මේ පාර නිවාඩුව ටිකක් දිගට හම්බ උනා….””ගෙදර එනවනන් අනිවාර්යයෙන් මට මොනවා හරි අරන් එන්න ඕන…””හ්ම්ම්ම් තෑග්ගක්නන් ගත්තා මන්… “ඒ ඇති ඉතින් සතියකට…. ඇත්තටම මට එයාගේ මූන බලාගන්න ඕනකම තියන තරම දන්නේ මන් විතරයි…ආ…තව මගේ ඇස් දෙක…. මගේ ආදරේට ඇස් වහක් වදින්න එපා කියලා තමයි මන් හැමදාම ඉල්ලුවේ…. ඒත් අන්තිමට ඔක්කොම වෙනස් උනා…. අපි කවදාවත් කාටවත් කරදරයක් වැරැද්දක් කරලා නෑ…ඒත් අපිටම මෙහෙම උනේ මොකද කියලා හිතා ගන්න බැරුව මන් තාමත් පසුතැවෙනවා….

“මේ…එදා ඔයා එවපු ෆොටෝස් හරිම ලස්සනයි..මටත් හිතුනා ඔයත් එක්ක නැවේම නතර වෙන්න තිබ්බනන් කියලා…” “අම්මෝ එපා…ඔයාට මේ දේවල් හරියන්නේ නෑ….” ඒ කිව්වෙත් මට තියන ආදරේට තමයි…..”ඔයානන් ගොඩක් ලකී කෙනෙක්…ඔයා ඉන්නේ කොච්චර ලස්සන තැනකද?..ඇත්තටම මටත් ආසයි ඔයත් එක්ක නතර වෙන්න…”කෙනෙක්ට එපා වෙලා තියන දෙයක් ගැන පැහැදීමක් ඇති කරන්න හොදම ක්‍රමය තමයි ඒක…අපිට නැති දෙයක් එයාට තියනවා කියලා කිව්වම අවංකව එයාට සතුටු හිතෙනවා…අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි….

ඔය විදියට විහඟිගෙයි අභිමානගෙයි ආදර කතාව ලස්සනට ගලාගෙන ගියා…ගොඩක් වෙලාවට ගොඩක් ආදර කතාවල දුශ්ටයෙක් ඉන්නවා..හැබැයි මගේ කතාවේ එහෙම කෙනෙක් නෑ….පුදුමයි ඒත්…කොහොම හරි එහෙම කෙනෙක් නෑ… මන් ගොඩක් වෙලාවට ට්‍රයි කරේ මගේ ආදර කතාවත් ලස්සනට ගලපන්න…මන් ගොඩක් ආඩම්බරෙන් හිටියේ මොකද මන් ආදරේ කරන්නේ නේවි එකේ ටිකක් නපුරු චුට්ටක් අහින්සක ආ..තව වැදගත්ම එක…. කඩවසම් කොල්ලෙක්ටනේ… මන් ගොඩක් වෙලාවට තනියම හඳ දිහා බලන් ඉන්නවා…මේ ලෝකේ තියන කලාත්මක වස්තු වලින් එකක් තමයි හඳ…එයත් ඉන්නේ තනියම….මාත් තනියම….ආදරේ කරන්න කෙනෙක් හිටියට අපිට අපි ගොඩාක් ඈතයි…හඳ එච්චර ලොකු අහසක තනියම ඉන්නවනන් ඇයි මට බැරි කියලා තාවකාලිකව හිත හදාගන්නවා…. හඳේ තනියට තරු ඉන්නවා වගේ අපි දැක්කට ඇත්තටම එහෙම නෑනේ….හරියට අපි දෙන්නා වගේ…එයා ඈත හිටියට දෙන්නට දෙන්නා ලගින් ඉන්නවා වගේ අපිට දැනුනට ඇත්තටම ලග නෑනේ…. ලැබුණු ආදරේ විඳින්න තරන් වාසනාවක් නෑ කියන්නේ ගිය ආත්මේ කරපු ලොකු පවක්…

“එදා මගේ කේන්තියට කියපු දේවල් වැඩිය ගනන් ගන්න එපා හරිද?…”මන් කිව්වේ එයා කේන්ති ගියාම කියන දේවල් එයා හිතලා කියන ඒවා නෙවෙයි කියලා…..ආයෙත් පස්සේ එයාටම හිතිලා මගෙන් සමාව ඉල්ලනවා…එච්චර ප්‍රේමනීය ආදරවන්තයෙක්ට කොහොමද කියන්න මන් සමාව නොදී ඉන්නේ…කෙල්ලොන්ගේ හිත් බොලදයි කියන්නේ ඇත්ත තමයි… ඒත් එයාගේ සමහර වචන පපුවට පිහියෙන් අනිනවා වගේ..ඒවා ගොඩක් දරුණුයි ඒ වචන අහන් ඉන්න එක කරන්න අමාරුයි නෙවෙයි කරන්න බැරි වැඩක්… හැබැයි ඊලග දවසේ ඇහුවම කියන්නේ මතක නෑ කියලා…ඒ කියන්නේ ඉතින් බැනපු එක හිතේ තියන් ඉදලා නෑ කියන එකනේ…

මාත් ඉතින් ප්‍රොෆෙසර් තමයි ආදරේ ගැන…. ටීවී එකේ යන ලව් ස්ටෝරි කට ඇරන් බලන් ඉන්නවා…දැන් මතක් වෙද්දිත් මටම ලැජ්ජයි….ගොඩක් ෆිල්ම් වලින් තමයි ඉගෙනගත්තේ රොමෑන්ස්…. ගොඩක් අය නතර වෙන වචනය….හැමෝම කියන්නේ රොමෑන්ට්ක් වෙන්න කියලනේ…අපරාදේ කියන්න බෑ එව්වනන් තිබ්බා මදි නොකියන්නම… ඇත්තටම සමහර ඉල්ලීම් හරිම අහින්සකයි..ඒ වගේම සාමාන්‍යයි… නැවත් එක්ක මගේ ලොකු බැදීමක් තිබ්බා …ගොඩක් වෙලාවට හීනෙනුත් දැක්කේ එයාව…. රෑට හීන දැක්කම හැබෑ වෙනවා කියලා කවුද කාටද මන්දා කියනවා ඇහුනා…දවල් හීන හැබෑ වෙන්නේ නෑ කියලත් දැන ගත්තා කොහොමහරි.අවුලක් නෑ මට කොහොමත් දවල්ටනන් හීන පේන්නේ නැ…

මන් ගොඩක් වෙලාවට ආදර්ශයට ගත්තේ පරණ කාලේ ආදර කතා….සමහර ඒවා ඉතින් අවුල් තමයි…දීඝගාමිනීගෙයි චිත්‍රාගෙයි ආදර කතාව මැද්දට පැන්නේ එයාගෙම අයියලා…හොද වෙලාවට මට අයියලා නෑ… කුවේනී විජයට කොච්චර ලව් කරාද…වැඩක් නෑ..අන්තිමට තමන්ගේ ලේ වලින් හැදුනු ලමයිත් එක්කම එයාවත් එලෙව්වේ කොච්චර දුශ්ඨ විදියටද….. කෝවලන් කන්නගීට එච්චර ආදරේ කරලත් එයාව අතෑරලා මාධවී ලගට ගියා… ක්‍රිශ්ණට ආදරේ කරේ රාධා උනාට ක්‍රිශ්ණා අයිති උනේ ලක්ශ්මිට…කාලි යකින්නක් උනාට එයාටත් එයාගෙම කියලා ආදරයක් තිබ්බනේ…..රාමා සීතා ඒ දෙන්නත් මාර ලවින් කපල් එකක්නේ…මේ කාටවත් තමන්ගේ ආදරේ හම්බුනේ නෑනේ… මේවත් එක්ක බලද්දි දැන් කපල්ස්නන් ලගින්වත් තියන්න බෑ….දැන් ඉන්න අය කන්නගී වගේ එකම පුරුශයෙක් වෙනුන්වෙන් තම පතිවත රකීවිද… මන් දන්න විදියට මේ ලෝකේ තියන ලස්සනම ආදර කතාව සිද්ධාර්ථ යශෝදරා කතාව….ආත්ම ගානක් ඇය පැතුවේ එකම පුරුශයෙක්…යශෝදරාව තරන් පවිත්‍ර පරිපූර්ණ කාන්තාවක් මේ විශ්වයේනන් තවත් නෑ…

“මන් ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි රත්තරන්…මගේ ජීවිතේ ඔයාට තියන තැන වෙන කාටවත් ගන්න බෑ…” ඒ එයා මාව දාලා යද්දි කියපු අන්තිම වචන ටික…හැබැයි ඒ වචන තාමත් මාව ජීවත් කරනවා…..එදා එයා ඒ ගමන නොගියනන් අදටත් මගේ ආදරේ මන් ලග… මතක් වෙන හැම වෙලාවකම මන් මැරි මැරි ඉපදෙනවා…. මන් දන්නේ මෙච්චරයි එයා මාව දාලා යන්නම ගියා ආයේ නොයෙන්නම… ඒත් කොහොමද මන් ඒක විස්වාස කරන්නේ…මගේ අභිමාන එයා තාම ජීවත් වෙනවා..මගේ හදවතේ….එයා වෙනුවට මට යන්න තිබුනන් මන් අනිවාර්යයෙන් යනවා….ඒත් මන් කොහොමද එහෙම කරන්නේ…එයා මට දෙන්න පුලුවන් වටිනාම තෑග්ග දීලා ගියේ…අපේ ආදරේ සංකේතය දැන් මන් ලග පරිස්සමට තියනවා…මන් එයා වෙනුවෙන් ජීවත් වෙන්න ඕන….මන් මගේ හිත හදාගත්තේ එයා මට දීපු අපේ පුංචි රෝස මලට ලස්සන අනාගතයක් හදලා දෙන්න මට වගකීමක් තියනවා නේද කියලා…. මන් තාමත් මුහුදු වෙරළට ගියොත් ඈත පේන නැව් දිහා බලාගෙන ඉන්නවා හරියටම මීට අවුරුදු ගානකට කලින් එයා එනකන් බලන් හිටියා වගේ….තාමත් මට හිතෙන්නේ එයා ජීවත් වෙනවා කියලා..

ඒත් ක්ශිතිජය කියන්නේ මායාවක්…..අහසයි මුහුදයි කවදාවත් එකතු වෙන්නේ නැ කියලා මන් දන්නවා…තාමත් මන් මුහුද ලගින් යනකොට ඒ දිහා බලලා පරණ මතකයන් අලුත් කරගන්නවා..එතකොට මට හිතෙනවා මගේ කතාව ආයෙත් මුල ඉදන්ම පටන් ගන්නවා නේද කියලා… කවදහරි මගේ පැටියා ලොකු වෙලා එයාගේ අප්පච්චි කොහෙද කියලා ඇහුවොත් දෙයියනේ මන් මොකද්ද දෙන උත්තරේ….එයා තාම පුංචි දරුවෙක් උනාට හැමදාම එයාගේ අප්පච්චිගේ ෆොටෝ එක දිහා බලාගෙන මොනවදෝ කියනවා….එයාට දැනෙනවා ඇති එයාගේ අප්පච්චිව….ඒ වෙලාවට මගේ ඇස් වලින් වැටෙන කදුලු මටවත් නතර කරගන්න බෑ… එයාගේ සොහොන ලග තියන නිල් කටරොළු වැලේ මන් යන දවසට ලස්සන පුංච් කටරොළු මලක් පිපිලා තියනවා….ඒ මගේ අභිමාන… ඒ මල ගෙදර ගෙනත් තියන් පරවෙන්න නොදී දවස් ගානක් පරිස්සං කරනවා.. මල පරවෙන දවසට මට මතක් වෙන්නේ එයාගේ මැරුණු ශරීරය..මාව දාලා යනකොටත් ඒ නපුරු මූනේ ලස්සන හිනාවක් තිබ්බා…ඒත් මල් කවදහරිම පරවෙනවා නේද කියලා හිතලා හිත හදා ගන්නවා….මන් වෙන මොනවා කරන්නද?.. හඳ දිහා බැලුවත් පේන්නේ එයාව…නැව් දිහා බැලුවමත් පේන්නේ එයාව….හැමතැනම එයාගේ සුවඳ…..අභීගේ හැම දෙයක්ම තාමත් හරි පරිස්සමට මන් ලග තියනවා…ලොකු උනාම මගේ දරුවා අප්පච්චි ගැන අහවි එදාට එයා ආදරේ ගැන අහද්දි ගොලු උනා වගේම මාත් ගොලු වේවී…….ගතින් එයා මාව දාලා ගියාට එයාගේ හදවත පරිස්සමට මන් ලග තාමත් තියනවා…..ඊලග ආත්මේ ඔයා මගේම වෙලා ඉපදෙන්න රත්තරන්……ලබන ආත්මෙනන් මාව මේ විදියට අසරණ කරලා යන්න හිතන්නවත් එපා…. මතක තියාගන්න ඔයාලගේ හීන කවදාවත් ලස්සනට පාට කරලා තියාගන්න එපා… මොකද එකම එක පිනි බිංදුවක් වැටුනත් ඇති ඒ පාට බොඳවෙලා මැකිලා යන්න…. (රිදුම් දෙන මතකය සුන්දර වචන වලට ගැලපුවා….ඇත්තටම මේක ලියද්දි මටත් ඇඩුණා….හරි පුදුමයි……මෙහෙම ආදර කතා අනන්තවත් ඇති..මෙහෙම විදවන චරිත ඕනතරන් ඇති….හිතින් මිනිස්සු ගොඩක් දුර්වලයි….හැබැයි ආදරේදි ගොඩක් මිනිස්සු අව්‍යාජයි…..මේක නිකන්ම නිකන් කතාවක් විතරයි අවසානයක් හිතා ගන්න අමාරුයි කියලා හිතුණු…මොකද අද කාලේ ගොඩක් ආදර කතා අසම්පූර්ණයි…..)

ඉඳුසරා කරුණාරත්න (සාරා) ✍️

Click to comment

Leave a Reply

Your email address will not be published.

Woman

රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර… 9 වන කොටස…

Published

on

8 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

💘ස්නේහ වර්ෂා…💘

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර…)

9 වන කොටස…..

දින සති ගෙවෙමින් කාලය ගත වූයේ අධ්‍යාපන කටයුතුවලටද වැඩි අවධානයක් යොමු කරමිනි….පාසලේ අධ්‍යාපන කටයුතු වලට අමතරව භාහිර පන්තිවලද අධ්‍යාපනයටද සියල්ලන්ම කාලය වැය කළහ…..

සාරන්‍යාගේ හිත නොසන්සුන්තාවයක පවතී….ඒ කිසිවෙක් නොමැතිව තනිවම ගමේ සිටින ඇයගේ මව පිළිබඳවයි….පියාත් නොමැතිව ඇය තමාව කොයිතරම් හොඳට බලා ගත්තේ ද….. උපන්දාසිට කෙදිනකවත් තම පියාව නොදුටු තමාට පියාගේ ආදරය ලබා දුන්නේ අම්මා ය.. ඇය හැකි උපරිමයෙන් තමාගේ ඉගෙනීම් කටයුතුවලට උදව් කළාය.. කඩයප්පම් විකුණමින් කෙසේ හෝ එදිනෙදා වියදමට මුදල් සොයා ගත්තාය….සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ විභාගය සඳහා ගමේ පාසලටම යෑමට තමා කැමැති බව කීවත් ඇය පැවසුවේ ඊට වඩා කොළඹ ලොකු ඉස්කෝලෙකට ගොස් තමාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස නිම කරගන්නා ලෙසටය.. ඒ සඳහා සියලු වියදම් තමා කෙසේ හෝ සොයා දෙන බවට ඇය පොරොන්දු වූ හැටි සාරන්‍යාට මතක් විය… කෙසේ හෝ තම මවගේ බලාපොරොත්තු ඉටු කරන බවට ඇය තරයේ සිතා ගත්තාය….

“මොනවද බං ඔය තරම් කල්පනා කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද…..”
සඳලිගේ හඬින් ඇය පියවි සිහියට පැමිණියාය……
“මුකුත් ප්‍රශ්නයක් නෑ බං…. මට අම්මා මතක් උනා… මෙහෙට ඇවිල්ලා මාව ඇරලලා ගියාට පස්සේ අම්මා ආවෙත් නෑ මට යන්න උනෙත් නෑ ….”
සාරන්‍යා දුක් මුසු ස්වරයෙන් පැවසුවාය…..
“අම්මට කොහොමත් මෙච්චර දුර එන්න බෑනේ…. අනිත් එක තමයි ස්කෝල පටන් අරන් ලොකු කාලෙකුත් නෑ …..”
“ඒක තමයි සඳලි … මට හිතෙනවා අම්මව ගිහින් බලලා එන්න…මේ දවස් වල ක්ලාස් දිගටම …. කිසිම නිවාඩුවක් නෑ…..”
“ඒක නං ඇත්ත බං.. ටර්ම් ටෙස්ට් එකත් ලඟයි නේ ..හැබැයි මේ මාසයේ අන්තිමට දවස් තුනක නිවාඩුවක් තිනවා මං හිතන්නේ… පෝයකුත් එක්කම තමයි නිවාඩුව වැටිල තියෙන්නෙ….. එහෙම වුනොත් අම්මව බලන්න යන්න පුළුවන්… මාත් එන්නං ඕන්නං ඔයත් එක්ක යන්න..”සඳලි සාරාන්‍යා දෙස බලමින් කීවාය..

“ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද මාත් එක්ක ඇවිත්…”
“නෑ සාරන්‍යා …මං එන්නම් කොහොමත් මං ගමේ යන්න හිටියේ… අම්මට කියන්නන් ඔයත් එක්ක ඔයාගේ ගමේ යනවා කියලා… ප්‍රශ්නයක් වෙන එකක් නෑ..”
ඇය කිව්වේ සාරාන්‍යාගේ අතකින් අල්ලා ගනිමිනි…
“අනේ තැන්ක්යූ සඳලි…. දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ…මං හරි බයෙන් හිටියේ…එහෙනන් අපි එහෙම කරමු…”
සාරන්‍යා කීවේ උතුරා යන සතුටකිනි …

සාරන්‍යාට සඳලිව මුණ ගැසුණේ අලුත්
පාසලේ දී ය… සාරන්‍යා නැවතී සිටියේ පාසලට සමීපයෙන් ඇති බෝඩිමකය… එහි තවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු නතරවී සිටියහ…මාසිකව බෝඩිමට ගාස්තුවක් ගෙවිය යුතු අතර ආහාර පාන ආදී සියලු පසුකම් ඔවුන්ට ලැබුණි… එසේම ආරක්ෂිතව බවින් උපරිම විය… බෝඩිමේ අයිති කාරිය වූයේ මැදිවයසෙ කාන්තාවකි…ඇයද ඉතා කරුණාවන්ත චරිතයකි.. සඳලි නැවතී සිටියේද එම බෝඩිමේමය. එම නිසා ඔවුන් දෙදෙනා හොඳම යහළුවන් විය……

මේ වන විට පවන් හා සාරන්‍යා බොහෝ සේ ළඟින් ඇසුරු කළ අතර හොඳ මිතුරන් බවට පත් විය…. විවේකයක් ලැබුණු සෑම අවස්ථාවකදීම දෙදෙනා මුණ ගැසී කතා බහ කළහ…

“සාරන්‍යා කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්…. අපි කතාබහ කරාට ඔයාගෙ විස්තර මොකුත් මම දන්නේ නෑ.. ගම වන්නියේ කියලා නං දන්නවා.ඒකත් එදා රැග් කරනකොට අරුන් කිව්ව නිසා තමයි ඉතින් දන්නෙ…..”
“වන්නියේ… කවුද කිව්වේ…”
සාරන්‍යා පවන් දෙසට හැරෙමින් ඇසුවාය….
“සඳරැස් කිව්වේ ඇයි නැද්ද…”
“පිස්සුද අනේ….මගේ ගම බිබිලේ ..ඔයාට සඳරැස් බොරු කියලා…”ඇය සිනාසෙමින් කීවාය…
“ඕ රියලී….මුන් ටික මාව අන්දලා එහෙනම්…. සොරි සාරන්‍යා …”
“ඒකට කමක් නෑ මම බිබිලේ… අද දැනගන්නකො හරියට…ලස්සන ගමක අහිංසක කෙල්ලෙක් මං …..”
ඇය හුරතල් ලෙස පැවසුවාය…
“ලස්සනයි කියන එක නං ඇත්ත ….ඒත් අහිංසකයි කියන එක නම් පිළිගන්න අමාරුයි…..”පවන් කීවේ වෙනතක් දෙස බලන ගමන්ය…
“ඇයි මං අහිංසක නැද්ද ?….”
“අනේ මන්දා ඉතින් ඕවා….ඉතින් තව විස්තර ටිකක් කියන්නකො….”
“නෑ ඊට කලින් කියන්නකෝ මං අහිංසක නැද්ද කියලා ….”
“හරි හරි සොරි… අහිංසකයි තමයි..අහිංසක රටක් වටී …”
පවන් කීවේ ඇයගේ නහයටද අතින් තට්ටුවක් දමමිනි….
“දැන් කියන්නකෝ ඉතින් පවුලේ විස්තර…”
“හ්ම්ම්…මම පුංචි ගමක දුප්පත් කෙල්ලෙක් …මට ඉන්නේ අම්මා විතරයි….අම්මා තමයි මගේ මුළු ලෝකෙම.. අපි ඉන්නේ පුංචි ගෙදරක….අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ඕන නිසා තමයි මම කොළඹ ලොකු ඉස්කෝලෙකට ආවේ….ඒක මගේ කැමැත්තකින් කරපු දෙයක් නෙමෙයි…හැමදේම අම්මා වෙනුවෙන්…”ඇය හිස් අවකාශය දෙසට නෙත් යොමු කරමින් කීවාය…
“එතකොට තාත්තා.. එයා මොකද කරන්නේ…..”
“මං ඒ ගැන කතා කරන්න කැමති නෑ පවන්… ඇත්තම කිව්වොත් ඒ ගැන කතා කරන්න කැමති නෑ නෙවෙයි ඒ ගැන කතා කරන්න දන්නෙ නැහැ….”සාරන්‍යා කීවේ වේදනාත්මක ස්වරයෙනි…
“ඒ මොකද ඒ… තාත්තා ගැන මොකුත්ම දන්නේ නැද්ද…..අඩුම තරමේ නමවත්….”
“නමනන් උප්පැන්න සහතිකේ තියෙනවා…. හැබැයි කවදාවත් දැකලා නෑ… අම්මගෙන් ඇහුව ට අම්මා මොකුත් කියන්නෙත් නෑ…. අම්ම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ… ඉතින් මං අහන්නෙත් නෑ …”
ඇය එක් අතකින් කඳුළු පිසදමන ගමන් කීවාය…

“අනේ මට සමාවෙන්න සාරන්‍යා … මං ඒක එච්චර හිතුවේ නෑ… වැරදි දෙයක් ඇහුවනන් ඇත්තටම සමාවෙන්න මට….”
පවන් ඇය දෙස බලමින් කීවේය…. ඇගේ නෙතින් ගලා යන කඳුළු සීරුවට ඔහුගේ අතින් පිස දැමුවේය….සාරන්‍යාටද එහි කිසිදු අමුත්තක් නොවීය….. ඇයද ඔහුට ඉඩදී අහිංසක ලෙස බලා සිටියාය….
“ඒකට කමක් නෑ පවන්…ඔයා මන් ගැන මුකුත් දන්නේ නෑනේ….”ඇය කීවේ මඳ සිනහවක් මුවේ රඳවාගෙනය…

පවන්ගේ ජිවිත කතාව ද ඇයගේ කතාව මෙන්ම දුක්බර කතාවක් බව ඇය දැන නොසිටියේය…
“ඉතින් කියන්නකො ඔයා ගැනත් විස්තර ටිකක් …..”
“මං කියන්නම් …ඔයාට හිතෙයි මගේ කතාව ඔයාගේ කතාවට වඩා ගොඩක් වෙනස් එකක් කියලා…මං කාත් එක්කවත් මේවා කියන්න ගිහිල්ලා නැහැ ..යාළුවෝ කීප දෙනෙක් ඇරුණම වෙන කවුරුවත් දන්නෑ …ඒ එයාලා අපේ ගෙදර එන නිසා….”
“හ්ම්ම්…මට තේරුම් ගන්න පුළුවන් ….ඔයා කැමතිනම් ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්නම් විතරක් මට කියන්න ….”
“අනිවාර්යෙන් මං ඔයාට කියන්නම් …මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්නේ රට… අම්මව දැකලා තියෙන්නේ ෆොටෝ වලින් විතරයි….තාත්තා නම් මතක ඇති කාලෙක තුන්පාරක් විතර ලංකාවට ඇවිත් ගියා… අම්මව දකින්න ආසයි… මොනවා කරන්නද …තාත්තා කියන විදියට අම්මා අසනීපෙන් ඉන්නේ ..ඒකයි ලංකාවට එන්නේ නැත්තේ ….මට සහෝදර සහෝදරියෝ කවුරුවත් නෑ…. පුංචි කාලේ ඉඳන් මාව බලාගන්න මැගී අම්මා…මට ලංකාවෙන් ඉන්නේ ඉතින් එයා විතරයි….ඔන්න ඕක තමයි මගේ ජීවිත කතාව…පවන් කීවේ දුක් මුසු සිනහවකින් මුව සරසාගෙනය…

පවන්ගේ කතාව ඇසූ පසු සාරන්‍යාට දැඩි දුකක් සිතට දැනුණි …ඇයට අත් වී ඇති ඉරණමටම පවන්ට ද මුහුණ දීමට සිදු වී ඇත ….නමුත් ඇයට අම්මා සිටි අතර දුක සතුට මෙන්ම සෑම කරදරයකදීම ඇයගේ මව ඇය අසලම සිටියාය …නමුත්
පවන් කවදාවත් ඇයගේ මව දැක තිබුණේ නැත…

කෙතරම් යාන වාහන සැප පහසුකම් මාලිගා මෙන් ගෙවල් තිබුණද ඔහුට කිසිදු මානසික සහනයක් ලැබුණේ නැත…දෙමව්පිය ආදරය ද ඔහුට අහිමි වී තිබේ….ඒ හැම පාළුවක් ම නැති කරගැනීමට ඔහු කළේ ගීත ගායනා කිරීමයි …..එය ඔහුගේ ජීවිතයයි…..සංගීතය යනු බොහෝ රිදුනු මිනිසුන්ගේ සිත් සුවපත් කළ ඖෂධයක් බවට නම් සත්‍යයකි….

ඔන්න අද එපියත් ටිකක් වැඩිපුර දුන්නා ඔයාලට…ඊළග එපියෙන් බලමුකෝ සාරන්‍යා මොනවද පවන්ට කිව්වේ කියලා ….මන්නන් හිතන්නේ දෙන්නා සෙට් වෙයි…අනේ මන්දා බලමුකෝ ..හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන අනිද්දා කතාව අරන් එනකන්…..ආදරෙයි හැමෝටම…

ඊළඟ වර්ෂාවෙන් හමුවෙමූ…

ඉඳුසරා කරුණාරත්න✍️

Continue Reading

Woman

රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර … 8 වන කොටස..

Published

on

7 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

❤️ස්නේහ වර්ෂා …..❤️

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතයේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර …)

ඔන්න ළමයි අද එපියත් ටිකක් විතර වෙනස්…..හැමෝම ඉතින් ගොඩක් ආස ඉස්කෝලේ කාලෙට නේ….බලමුකෝ ඉතින් නේද පවන්ගේ හිතෙ සාරන්‍යා ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා …හැමදාම කියනවා වගේ වැස්සේ තෙමිලා අසනීප නම් වෙන්න එපා ළමයි ……..

8 වන කොටස…..

පවන් පාන්දරින්ම නැගිට කඩිනමින් සූදානම් වූයේ වේලාසනින්ම පාසල වෙත යාමටයි…මැගී අම්මා විසින් සාදා දුන් තේ කෝප්පයද පානය කර විවේක කාලය සඳහා සකස් කර දුන් දහවල් ආහාරයද රැගෙන පාපැදියෙන් පාසල බලා පිටත් විය…ඔහු පාසලේ ශිෂ්‍ය නායක මඩුල්ලේ සාමාජිකයෙක් වීම නිසා පුරුද්දක් වශයෙන් කල් ඇතුවම ඔහු පාසලට ගියේය….ඒ යන විට පාසලේ ප්‍රධාන ගේට්ටුව අසළදී ඔහු දුටු දර්ශනයෙන් තරමක් පුදුමයට පත් විය…
“හායි ගුඩ් මෝර්නින් පවන්….”
“ගුඩ් මෝර්නින් සාරන්‍යා…”
ඔවුන් දෙදෙනා එකිනෙකාට සුභ පැතුම් එක් කර ගත්හ….
“ඔයා මොකද උදේ පාන්දරම කරන්නේ …ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් ඔයාද?…..”
“අම්මෝ නෑ නෑ…මන් ඉතින් කොහොමත් වේලාසනින් එනවා…මියුසික් රූම් එක පැත්තේ ගිහින් පොඩ්ඩක් අස්පස් කරලා දාලා ටයිම් තිබ්බොත් සිංදුවක් ප්‍රැක්ටිස් කරනවා…එහෙම නැත්තන් ඉතින් මීඩියා යුනිට් එකේ වැඩ ටික බලනවා…ඕවා තමයි …”
පවන් කීවේ ඔහු පැළඳ සිටි ඔරලෝසුව දෙස බලන ගමන්ය….
“ඒක නෙවෙයි ඔයා මොකද්ද උදේ පාන්දර කරන්නේ …ගෙවල් ලගද තියෙන්නේ …”
“ඔව් ඔය ඉස්සරහට තියන පාරේ ගියාම චුට්ට දුරයි….මටත් හිතුණා අද උදේම එන්න ඕන කියලා ..ඒ නිසා ලෑස්ති උනා ආවා…යාළුවා තාම කොණ්ඩේ ගොතනවා…අදට විතරක් එයාව දාලා ආවා….”
ඇය සිනාසෙමින් කීවාය…
“මරු යාලුවෝ….එහෙමත් කරනවද?…”
“අපෝ…..ජීවිතේට වෙලාවට වැඩක් කරන්න දන්නේ නැති මනුස්සයෙක් තමයි මගේ යාලුවා…හැමදාම කරේ මිනිස්සු රස්තියාදු කරවපු එක…ඒ නිසා පනිශ්මන්ට් එකක් තියෙන්නත් එපැයි….ඔන්න ඔහේ ආපු දෙන්….”සාරන්‍යා කීවේ ඇඟට පතට නොදැනෙන ලෙසය….
“හරි හරි…ඕවා ඉතින් ගෑණු ලමයින්ගේ ප්‍රශ්නනේ…කොල්ලෝ අපිට අදාළම නෑ…”
පවන් කී දෙයට සාරන්‍යාද සිනාසුණේය….
“මේ ඒක නෙවෙයි …ඔයා කිව්වා නේද මීඩියා යුනිට් එකක් මේ ස්කූල් එකේ තියනවා කියලා ….”
සාරන්‍යා අලුත් පැනයක් පවන් වෙත යොමු කළාය …
“ඔව් තියෙනවා… අපි තමයි ඒක කරන්නේ ..”
“මේ මාත් ආසයි ඒකට ජොයින් වෙන්න ..මාව ගනීද?…..”
“ඔව් අනිවාර්යෙන්ම …මම මීඩියා යුනිට් එක භාර මිස් එක්ක කථා කරලා බලන්නන්….ඔයාට එනවුන්සින් එහෙම පුලුවන්ද……”
“ඔව් පුළුවන් ….තව මට හොඳට ලියන්නත් පුළුවන් …”
“වාව් නියමයිනේ…අපි කතා කරලා බලමූ…එකතුවෙලා හොඳ වැඩක් කරන්න පුලුවන් …”
පවන් කීවේ සාරන්‍යා දෙස බලමින් සිනාසෙමිනි…..
“අනිවාර්යයෙන්…මන්නන් ආසයි ගොඩක්…”සාරන්‍යා කීවේ උතුරා යන ප්‍රීතියෙනි…
“ඒ පවන්…මොකද්ද බන් ඔතන වෙන්නේ…”
සඳරැස්ගේ කෑගැහිල්ලට දෙදෙනාම පිටුපස හැරී ඇතුළුවීමේ දොරටුව ලෙස බැලූහ…සඳරැස් ඔවුන් වෙතට දුවගෙන ආවේය….
“අඩෝ මචන් පවන්…ගුඩ් මෝර්නින්…මොකෝ මේ අද වේලාසනින්…මන් ගෙදරටත් ගියා..මැගී අම්මා කිව්වා උබ ඉස්කෝලෙට ආවා කියලා …”සඳරැස් කීවේ පවන්ගේ කර වටේ අත යවමිනි….
“ඔව් බන්…අද ටිකක් කලින් එන්න හිතුණා…මියුසික් රූම් එක පැත්තේ යන්න හිතාගෙන ආවේ…එනකොට සාරන්‍යව දැක්කා එයත් එක්ක ටිකක් කතා කර කර හිටියා ….”පවන් කීවේ සාරන්‍යා දෙසට නෙත් යොමු කරමිනි….
“අප්පටසිරි …කොල්ලා සිංදු රසවිඳින එක කෙසේ වෙතත් උබ ලස්සන මෙලඩියක් දාන්න වගේ ට්‍රයි කරන්නේ …නයිස් ට්‍රයි මචන්….අපෙනුත් ෆුල් සප් එක….”සඳරැස් සාරන්‍යාට නොඇසෙන පරිදි රහසින් කීවේය …
“හෙලෝ ගයිස්…කට්ටිය මොකද මෙතන කරන්නේ …”විහඟද ඔවුන් සිටි තැනට පැමිණියේය….
“පොඩි කයියක් දාගෙන හිටියා බන්…”
සඳරැස් පිළිතුරු දුන්නේය ….
“එහෙනම් මං ඇතුලට යන්නම් පවන්..ඔයාලා හිමින් සැරේ එන්නකෝ….”
“හරි සාරන්‍යා …අපි එන්නන් ඔයා යන්න…”
සාරන්‍යා ඇයගේ මිතුරියත් සමඟ පන්තිය ඇතුළට ගියාය….
“සිරාවට මොකක්ද මචං මෙතන උනේ …..”
විහඟ අලුත් පැනයක් ඉදිරිපත් කළේය …
“ඒ මොකුත් නෑ බං ….නිකන් කතා කරකර හිටියා ….ඒව වැඩක් නෑ අපි දැන් යමුකෝ …”යැයි කියමින් පවන් පිරිසට එකතු විය…..

උසස් පෙළ ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ මුල්ම දිනය එදින විය ….මුල් කාල පරිච්ඡේද හතරෙන් පසුව විවේක කාලය ආරම්භ විය…උදෑසන හමු වූවාට පසුව පවන්ට සාරන්‍යා සමග කතාබහ කිරීමට අවස්ථාවක් උදා නොවීය…විවේක කාලයේ අවසාන වීමත් සමග සිසුන් සියල්ලෝම පන්ති කාමරය තුළට රැස්වූහ …
“ඒ පවන් කියන්නකො ලස්සන සිංදුවක්.. මේ පීරියඩ් එක ෆ්‍රී….. අද පොල්ටිකල් මිස් ඇවිත් නෑ….”සඳරැස් පවන් ගෙන් ඉල්ලීමක් කළේය…
“අන්න මරු අයිඩියා එක අපි දෙන්නන් මියුසික් එක….”
“දැන් සින්දු කියන්න මූඩ් එකක් නෑ බං….”
පවන් ඔවුන්ගේ ඉල්ලීමට අකමැත්ත පළ කළේය …
“අඩෝ මොකක්ද බං…සිංදුවක් කියපන්කො…”
“ඒකනෙ බන් සින්දුවක් කියපන්කෝ….”
ඔවුන් අසළ සිටි සිසුන්ද පවන්ට ඇවටිලි කළහ….
“හරි එහෙනම් කියන්නම්කො ……”
“අන්න නියමයි …ඔව් පිළිගන්න වේදිකාවට යුගයේ කඩවසම්ම පෞරුෂය පවන් සත්සර සේනානායක .. “
පන්තියේ සිසුන් සියල්ලෝම අත්පුඩි සංනාදයක් පැවැත් වූහ….

සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා……..
වෙරළේ රළ මැන්නා……
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී….

කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු …. කඳුළෙන් කටු මත විෂ තිබුණා ….
බිඳුණොත් බඳුනක පිළියම් කරනට…
බැරි කැලලක් මතුවී පෙනෙනා… සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා… වෙරළේ රළ මැන්නා….//

පවකින් පෙර අත් භවයක සිදුවූ …
සිතකින් සිතකට දුක පිරුණා…
මගේ අත දිගු කළ හැකි හැම තැනදී… ඔබ අත මා දුරකින් තිබුනා…
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා….
වෙරළේ රළ මැන්නා…
සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී……//

අසංක ප්‍රියමන්ත මහතා විසින් ගායනා කරන ලද ගීතයක් පවන් ඔහුගේ හඬින් සියල්ලෝම ඉදිරියේ ගායනා කළේය …සැබැවින්ම පවන්ගේ කටහඬ ඉතාම මියුරුය… අසන්නන්ගේ සවනට මී පැණි වක් කරන්නාක් මෙන් ඒ හඬ ඉතා කන්කලුය…ගීතය ගායනා කර අවසාන වන තෙක්ම ඔහුගේ ඇස් රැඳුනේ සාරන්‍යා අසළයි…සිසුන් සියල්ලෝම මීයට පිම්බාක් වැනිය….ඔහුගේ හඬට වශී නොවන්නෙකු නැති තරම්ය….සියල්ලෝම වික්ෂිප්තව බලා සිටියි….පවන්ගේ නෙත් තවමත් සාරන්‍යා අසළය…

“මේ කෙල්ල…කොල්ලා සිංදුවනන් කිව්වේ ඔබට තමයි හොඳේ…බලපන් තවමත් බලාගෙන ඉන්නවා මේ පැත්ත….”
සඳලි සාරන්‍යා දෙසට හැරෙමින් පැවසුවාය .
“පිස්සු කියවන්න එපා සඳලි…එයා මොකටද මන් වෙනුවෙන් සිංදු කියන්නේ ..අනික එහෙම කරන්න තරන් සම්බන්දයක් අපි අතරේ නෑනේ….”සාරන්‍යා කීවේ පවන් දෙසට නෙත් යොමු කරන ගමන්ය…
“හරි ඉතින් එහෙම සම්බන්ධයක් පස්සේ හරි ඇති වෙන්න පුළුවන් නේ ….”
“මොන වගේ දෙයක් ගැනද සඳලි උඹ කියන්නේ ….”
“හරි හරි අපි බලමුකෝ….”
“අනේ බලන්නකෝ ඒ කොල්ලගෙ ලස්සන ..හරියට හින්දි ෆිල්ම් වල ඉන්න නළුවෙක් වගේ …හැබැයි සාරන්‍යා ඌව ගැලපෙන්න උඹට නම් තමයි ඔන්න…ආයේ කතා දෙකක් නෑ….”
අමන්දිද සඳලිගේ කතාව තහවුරු කළාය…
“විකාර කියවන්න එපා බං ….අපි මේ ඉස්කෝලෙට ආවෙත් අළුතින්…ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න මම කැමති නැ……”සාරන්‍යා මිතුරියන්ට ඇයගේ විරෝධය පළ කළාය….
“මොනා උනත් සාරා උඹට බය වෙන්නන් දෙයක් නෑ….උබේ තනියට පවන් ඉන්නවා …කෙල්ලට මොනවා හරි උනොත් කොල්ලා එකෙන්ම ගේමට බහිනවා …”අමන්දි සිනාසෙමින් කීවාය…
“උඹලටනන් හොඳටම පිස්සු ….”සාරන්‍යා සිනාව මැඩ ගනිමින් කීවාය…
“බලාගන්න පුළුවන් ඉස්සරහට කාටද පිස්සු කියලා .. නැද්ද? සඳලි …”
“එහෙනන් ඒකත් ජය සිරි මංගලම් කිව්වා..”
“කෑගහන්න එපා බන් කාටහරි ඇහුණොත් වැරදියට හිතයි …..මං යනවා බං ලයිබ්‍රි එකට….”යැයි කියමින් සාරන්‍යා හිඳගෙන සිටි පුටුවෙන් නැගිට පන්තියෙන් පිටත් වූවාය..යෙහෙළියන්ද ඇගේ පිටුපසින්ම පුස්තකාලය වෙතට ගියහ…

අද එපිය ටිකක් වැඩිපුර දුන්නා ඔයාලට…කියවලා බලන්නකෝ කොහොමද දැනෙන්නේ කියලා …ආයෙත් අපි හම්බවෙන්නේ අනිද්දට ..එහෙනන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන..ආදරෙයි ඔක්කොටම….

ඊළග වර්ෂාවෙන් හමුවෙමූ….

ඉඳුසරා කරුණාරත්න✍️

Continue Reading

Woman

රිඳුම් දෙමින් විඳවන ජීවිතයේ රිඳුමන් නිවා සනසන ප්‍රේම වර්ශාව වහින්නට අවසර…. 7 වන කොටස..

Published

on

6 කොටස බැලුවේ නැත්තම් මෙතනින් බලන්න

❤️ස්නේහ වර්ෂා….❤️

(රිඳුමන් දෙමින් විඳවන ජීවිතේ රිදුමන් නිවා සනසන ප්‍රේම වර්ෂාව වහින්නට අවසර…..)

ඔන්න අද එපියත් කියවලා බලන්නකෝ ළමයි කොහොමද දැනෙන්නේ කියලා ඔයාලට….ඔයාලත් ඉතින් ඉස්කෝලේ යන කාලේ ආදරේ කරලා ඇතිනේ නේද…..සමහරවිට මේ ඔයාලගේ ආදර කතාව වෙන්නත් පුලුවන් …කලින් එපිය මතකයිනේ ඔයාලට.. …

7 වන කොටස……

“අම්මටසිරි…මොකද්ද බන් ඒ උනේ…මොනවා උනත් මන් කරපු වැඩේ හින්දා කොල්ලට හොඳකුත් උනා එහෙනන් …”සඳරැස් සිනාසෙමින් පැවසුවේය…..
“එපා බන් ඔහොම දේවල් කරන්න….උබලා නිකන් මිනිස්සුන්ගෙන් පලිගන්නවා වගේනේ…ඔහොමද බන් ඉස්කෝලෙට අළුතින් ආපු ළමයින්ට සළකන්නේ…පිස්සු වැඩ කරන්න එපා බන්…කෙල්ලෝ අපි වගේ නෙවෙයිනේ….”
පවන් කේන්තියෙන් සඳරැස්ට කෑගැසුවේය….
“අඩේ හරි බන්…විහිලුවක් කරේ ඉතින් …ඒකෙන් අපිට උනේ නරකක් උනාට උබට හොඳක් උනානේ…නැද්ද විහඟ….”
සඳරැස් විහඟ දෙස බලමින් කීවේය…
“ඔව් ඔව් හොඳක්නන් උනා තමයි ..අනේ පලයන් බන් යන්න…”
“මොනවා උනත් කෙල්ල මාර ලස්සනයි බන්..බලපන්කෝ කොණ්ඩේ ..කර්ලි කොණ්ඩයක් තියන කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් පින් කරන්න ඕනලු බන් සෑහෙන්න…බලපන්කෝ සෙක්සි ලුක් එක…කොල්ලෝ ට්‍රයි එකක් දීපන් හොදේ…උබටම තමා සෙට් වෙන්නේ ඒකිව…”
“මොනාද මනුස්සයෝ කියවන්නේ…ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දීපන් වැඩක් කරගෙන…අනේ මන්දා උබලනන්….”
“ඒ ඔහොම ඉදපන් බන් අපිත් එනකන්…”
පවන් එතැනින් ඉවත්ව යනවිට ඔවුන් දෙදෙනාද පවන් පසුපස යන්නට වූයේ පවන් කෝපයෙන් සිටින බව දන්නා නිසාවෙනි….

පවන් නිවසට ළගාවන විට සවස දෙක හමාරට ආසන්න විය…ඔහු නිවසට ගොස් තමා රැගෙන ගිය පොත් බෑගයද පසෙකින් තබා ඇඟපත සෝදාගෙන දහවල් අහාරය ගත්තේ කඩිනමින් ඔහුගේ රාජකාරිය අවසන් කර මිතුරන්ට වුනු පොරොන්දුවද ඉටු කිරීමට අවශ්‍ය නිසාය….පවන් ඔහුගේ ජීවිතයේ වැඩිපුරම කැමති ස්ථානය වූයේ ඔහුගේ සංගීත කාමරයයි…එම කාමරය තුළ විවිධ වර්ගයේ ගිටාර් වර්ග කිහිපයක් හා පියානෝවක් තිබුණි….ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ ගිටාර් වාදනය කිරීමටයි……ගීත නිර්මාණය , භාණ්ඩ වාදනය හා ගීත ගායනය සඳහාද ඔහු සැබෑ දක්ෂයෙකි…ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ කෙදිනක හරි ලංකාවේ නම ගිය ගායකයෙක් වීමයි…ඒ සඳහා ඔහු නිතරම කාලය වෙන් කලේ ඉගෙනීමේ කටයුතුවලටද අවධානය යොමු කරන ගමන්මය…..ඔහු තමන් කැමතිම ගිටාරය රැගෙන වත්ත පහළ වූ අඹ ගස යටට ගියේ සංගීතය රසවිඳීමට නිදහස් වටපිටාවක් සන්සුන් පරිසරයක් අවශ්‍ය බව දන්නා නිසාවෙනි…

ඔහු ගිටාරයේ තත් පිරිමදිමින් ඔහුගේ තාලයට මිහිරි සංගීතයක් ගොඩ නැගුවේය…නමුත් ඔහුට සැරෙන් සැරේ මතකයට නැගෙන්නේ පාසලේදී සිදුවූ සිදුවීම් පෙළයි..සාරන්‍යාගේ හමුවීම ඔහුගේ සිත මඳක් නොසන්සුන්තාවයකට පත් කළේය…ඇත්තටම ඔහුට කුමක් සිදුවෙලාද….පවන් ප්‍රශ්නය තුළ දැවෙමින් සිටියේය….අවසානයේ ඔහු තීරණය කලේ සාරන්‍යාගෙන් ඈත් වී සිටින බවටය…

“පුංචි මහත්තයා මක්කැයි ඔය හැටි කල්පනා කොරන්නේ…”දිගු වෙලාවක් කල්පනාවේ සිටි පවන්ව දැක ඇය ඔහු සමීපයට ආවාය….
“මුකුත් නෑ මැගී අම්මේ…”
“මුකුත් නැතිවෙන්න බෑ…මන් දොර ළග ඉදන් පැය කාලක් තිස්සේ බලන් ඉන්නේ…සිංදු කියනවට වඩා කල්පනා කරන එකනේ කොරන්නේ….”
“එහෙම මුකුත් නෑ මැගී අම්මේ..අනේ මන්දා ඔයත්….”
පවන් මැගීව අතින් ඇද ඔහු ළග තිබුණු පුටුවෙන් වාඩි කරවා ගත්තේය….
“ඔය ඔය තියන දාංගලේ…තව ඩිංගෙන් මන් බිමට වැටෙනවා….”
“හරි හරි මැගී අම්මේ..මන් ඔයාගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද…හැබැයි ඔන්න මන් ගැන වැරදියට හිතන්න බෑ …..”
පවන් කීවේ මැගීගේ අතක් අල්ලාගනිමිනි..ඒ ඔහුට සිටින එකම යෙහෙලියයි…ඔහුට තමාගේ මව මෙන් දැනෙන්නේ ඇයවයි….ඒ තරමටම ඇය පවන්ට මවක් සේ ලැදිය…කෙදිනකවත් දැක නැති ඔහුගේ මව නැති අඩුව පිරවූයේ මැගී අම්මාය….ඔහු පවන්ව රැකබලා ගත්තේ ඇයගේම දරුවෙකු ලෙස සිතාගෙනය….
“මැගී අම්මා කවදහරි ආදරේ කරලා තියනවද?….”
“අපේ අප්පේ පුංචි මහත්තයෝ…මේ නාකි මගෙන් අහන ප්‍රශ්න…”
මැගී පැවසුවේ කම්මුලට අතක් තබා ගනිමිනි….
“එහෙම කියන්න එපා මැගී අම්මේ…බලන්නකෝ ඔය ඉන්නේ තාම අවුරුදු විස්සේ ගෑණු ලමයෙක් වගේ හැඩට…..කවුද කියන්නේ ඔයා නාකියි කියලා…..”
පවන් කීවේ ඇය අසළ ඇන තියා ඉඳගනිමිනි….
“මන් බැඳලා නෑනේ පුංචි මහත්තයෝ…”
“ඒක මන් දන්නවා මැගී අම්මේ….ඒත් ඇයි ඒ…”
“ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් පුංචි මහත්තයෝ..අපි හිතන පතන දේවල් ඒ විදියටම වෙනවනන් මේ ලෝකේ මීට වඩා කොයිතරන්නන් ලස්සනද?….”ඇය හූල්ලමින් පැවසුවාය….
“ඔයා කාටවත්ම ආදරේ කරලා නැද්ද එතකොට….”
“නැත්තෙමත් නෑ….”
“ආව් ආව් කවුද බොලේ ඒ…..”පවන් කීවේ මුහුණේ සිනහවක් රඳවාගෙනය….
“හිත ගියපු එක්කෙනෙක් හිටියා….එයාව ලැබෙන්නේ නෑ කියලා දැනගත්තට පස්සේ මන් හැමදේම අතෑරලා දැම්මා…”
මැගී පැවසුවේ ඈත අහස දෙසට නෙත් යොමු කරමිනි….
“ඇයි ඒ එයාව ලැබුනේ නෑ කියලා කිව්වේ…”
“ඒක ගොඩක් දිග කතාවක් පුංචි මහත්තයෝ…මන් නිවී සැනසිල්ලේ කියන්නන්කෝ….”
මැගී අම්මා පවන්ගේ හිස අතගාමින් කීවාය….
“හරි එහෙනන් මැගී අම්මා මට කතාව කියන්න ඕන හරිද?….”
“හරි හරි පුංචි මහත්තයෝ…දැන් කර කර හිටපු වැඩේ ඉවර කරන්නකෝ….”
“මට පොඩි ගමනක් යන්න තියනවා මැගී අම්මේ…..”
පවන් කීවේ ගල් මේසය උඩ තිබුණු ගිටාරය අතට ගනිමිනි…
“මේ ගොම්මන් වේ ගෙන වෙලාවේ කොහේ යන්නද….දැන් 5ටත් කිට්ටුයි….”
“හරි හරි මැගී අම්මේ…මන් ටින් ගාලා ගිහින් එන්නන්….”
පවන් කීවේ මැගී අම්මාගේ කම්මුලක් අතින් මිරිකමිනි……
“රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕන හොදේ….ලොකු මහත්තයා අහන ප්‍රශ්න වලට අන්තිමට උත්තර බඳින්න වෙන්නේ මට ඕං….”
“හරි හරි වැඩි වෙලා යන්නේ නෑ…පැය භාගෙන් කොල්ලා ගෙදර ….”
යැයි කියමින් පවන් ඔහුගේ පාපැදියද රැගෙන නිවසින් පිට වූයේ යාලුවන් ඔහු එනතුරු බලා සිටින බව දන්නා නිසාය..ඇත්තෙන්ම ඒ ඔහුගේ විදියයි….පොරොන්දුවක් වුවහොත් ජීවිතේ පරදුවට තියා හෝ එය ඉටු කරයි…සැබවින්ම මෙවැනි චරිත අද සමාජයේ දැකගැනීමට ඇත්තේ අතළොස්සකි…..

පවන් ක්‍රීඩා පිටියට යන විට හවස් වී තිබුණි….මිතුරන් සමඟ කතා බහේ යෙදී සිටීමෙන් අනතුරුව ඔහු නැවතත් තම නිවස බලා පැමිණියේ මැගී අම්මාගේ උපදෙස් අනුවය…..රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුව පවන් උඩු මහලට ගියේ ඔහුගේ ප්‍රියතම ගිටාරයද අතැතිවය….උඩු මහලට සඳ කිරණ වැටී තැනින් තැන ආලෝකමත් වී තිබුණි….ඔහු ගිටාරයක් රැගෙන අත්වැට ලගට පැමිණියේ ඔහුගේ සිත මේ වන විට පඹ ගාලක පටලැවී ඇති බව දැණුනු නිසාය…සැබවින්ම තමාට කුමක් සිදුවී ඇතිද..යාලුවන් පැවසූ පරිදි සාරන්‍යා පිළිබඳව තමාගේ හිතේ හැඟීමක් ඇති වෙලාද….එසේනන් තමා කුමක් කරන්නද…මැගී අම්මට සිදුවූ දෙයම තමාටත් වේවිද….ඔහු නොයෙකුත් ප්‍රශ්න වල තෙරපෙන්නට විය…දිගු වෙලාවක් කල්පනාවේ ගැලී සිටි ඔහු චන්ද්‍රයා නොපෙනී යෑමත් සමඟම එතැනින් පිට වූයේ හෙට දිනය ගැන කිසිවක් සිතාගත නොහැකිවය……

සොරි ළමයි ඊයේ දෙන්න බැරි උනා කතාව ….ආයෙත් කතාව දෙන්නේ අනිද්දා ..ඒ නිසා ඉවසීමෙන් ඉන්න හැමෝම..බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා …..පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරෙයි ගොඩාක්…..

ඊළඟ වර්ෂාවෙන් හමුවෙමු….

✍️ඉඳුසරා කරුණාරත්න

Continue Reading

Trending