Connect with us

Local

සුනිල් ආරියරත්න, රෝහණ වීරසිංහ සමග භාතිය – සන්තුෂ් ගැටුමක…

Published

on

ඇඩ‍්‍රස් නෑ නමැති වචනය භාවිතයේදි එය අපට දෙයාකාරයකින් ගම්‍ය වෙයි. පුද්ගලයෙකුට ලිපිනයක් නෑ යන්න ඉන් එක් තේරුමකි. පුද්ගලයෙකුට යන එන මගක් නැති වූ විටද ව්‍යවහාරයේ එන වචනය ඇඩ‍්‍රස් නෑ යන්නය. ඇඩ‍්‍රස් නෑ යන වචනය මේ දිනවල මේ තරම් මාතෘකාවක් බවට පත්වීමට හේතුව භාතිය සහ සන්තුෂ් විසින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට සහ රෝහණ වීරසිංහයන්ට නිර්මාණ අයිතිය හිමි ‘‘ඇඩ‍්‍රස් නෑ’’ ගීතය අවසරයකින් තොරව වාණිජ්‍ය කටයුත්තක් සඳහා යොදාගැනීමය. බුද්ධිමය දේපළ අවභාවිත කිරීම යන චෝදනාව දක්වා දිග්ගැස්සුණු මේ අර්බුදය මේ වන විට නරක අතට හැරී ඇත. තම නිර්මාණ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ පදනම මත භාතිය සහ සන්තුෂ් ට එරෙහිව නඩු මගට පිවිසෙන බව සුනිල් ආරියරත්නයන් මේ විට ප‍්‍රකාශ කර සිටින්නේය. භාතිය සහ සන්තුෂ් ස්වකීය බුද්ධිමය දේපල පැහැරගැනීමට එරෙහිව සාධනීය පියවරක් නොගැනීම නිසා සුනිල් ආරියරත්නයන් සහ රෝහණ වීරසිංහයන් ඊට විරෝධය දක්වමින් මීට පෙර ඔස්කාර් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ද ඉවත් විය.

ඔස්කාර් සංවිධානය පිහිටුවා ගැනීමේ මූලික අරමුණ වී ඇත්තේද නිර්මාණ කොල්ලයට එරෙහිව සංවිධානාත්මක කටයුතු කිරීම සහ නිර්මාණකරුවන්ගේ අයිතීන් සුරක්ෂා කර දීමය. මෑතකදි පිහිට වූ එම සංවිධානය මේ රටේ ගීත රචකයන්, සංගීතඥයන් සහ ගායක ගායිකාවන් ඇතුළත් සංවිධාන රැසක එකතුවකින් සැදුම්ලත් ප‍්‍රබලම සංවිධානය වන්නේය. භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්ද ඔස්කාර් සංවිධානයේ තරුණ නිර්මාණකරුවන් නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝය. එකී සංවිධානයේම ජ්‍යෙෂ්ඨයින් දෙපළකගේ නිර්මාණ අවනීතික ලෙස පැහැර ගැනීම නිසා එවැනි පිරිසක් සමග තවදුරටත් එකට වාඩි විය නොහැකිය යන සදාචාරාත්මක කාරණය මත තමන් එම තනතුරුවලින් ඉවත් වූ බව රෝහණ වීරසිංහ සහ සුනිල් ආරියරත්න පවසති.

‘‘අපිට තවදුරටත් භාතියල ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න ලැජ්ජයි. එයාල ඒකෙම ඉඳගෙන අයිතිවාසිකම් ගැන ලොකුවට පාරම්බාල මෙහෙම දෙයක් කරද්දි තවදුරටත් අපිට ඒ අය එක්ක එකට වාඩි වෙන්න පුළුවන්ද. රෝහණ වීරසිංහ ඔවුන් ගත් පියවර පිළිබඳ ගොඩනගන තර්කය එයයි.

ඔස්කාර් සංවිධානයේ සභාපතිත්වය උසුලන්නේ ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාය. පැන නැගී ඇති අර්බුදය ඔස්කාර් සංවිධානයේ හර පද්ධතීන් සෘජුවම උල්ලංඝන කරන නිසා සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ මේ අවනඩුව ඔස්කාර් සංවිධාන සභාපතිවරයාට ඉදිරිපත් කළේය. එහිදී ඇති වූ සාකච්ඡාවලදී සුනිල් ආරියරත්න පාර්ශ්වයේ ඉල්ලීම වී ඇත්තේ සිදු වූ වරදට භාතිය සහ සන්තුෂ් ඔස්කාර් අධ්‍යක්ෂක මණ්ඩලය තුළදී සමාව ගැනීමත් නිර්මාණ අයිතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක වන්දියක් ලබාදීමය. මුලදී මේ යෝජනාවට භාතිය සන්තුෂ් පාර්ශ්වය එකඟව පසුව එයින් කර ඇරීමේ පිළිවෙතක් අනුගමනය කළ බව භාතිය සන්තුෂ්ලාට එල්ලවන තවත් චෝදනාවක්ය.

‘‘මුලදී වැරැද්ද පිළිගෙන ලක්ෂ දහය පහකට අඩු කරන්න එක එක්කෙනා මාර්ගයෙන් විවිධ කාරණා කියමින් හෙට්ටු කරන්න ගත්තා.’’ ඒ සම්බන්ධයෙන් වන සියලූ සාක්ෂි තමන් සතු බව රෝහණ වීරසිංහ ප‍්‍රකාශ කරන්නේය. කාරණය දුර දිග යන්නේ එකී පසුබිම තුළ ඔස්කාර් සංවිධානය ද මේ ගැටලූව විසඳීමේදී කි‍්‍රයාත්මක වූ දියාරු පිළිවෙත නිසාය.

‘‘ඔස්කා යූත් කියල සංවිධානය වෙද්දි අපි ලොකු බලාපොරොත්තු තිබ්බා මේ ගොල්ලන් ගැන. අන්තිමේට ඒක පිහිටුවල මාසයක් යන්න කලින් මෙයාල කළේ වෙන දෙයක්. එයාල මේ දිනවල පුද්ගලික නාලිකාවක ජාත්‍යන්තර තලයේ සංගීත වැඩසටහනක් කරනවා. ඒ කට්ටියත් එක්ක භාතියලගේ ප්‍රොජෙක්ට් එකක් තියනවා ගීත ගණනාවක් රෙකෝඞ් කරල විකුණන්න. අපේ ඇඩ‍්‍රස් නෑ ගීතය අරන් තියෙන්නෙ බීම බෝතල් වෙළෙඳ දැන්වීමකට. එම සංගීත වැඩසටහනට සහභාගී වන ළමයෙක් ‘‘ඇඩ‍්‍රස් නෑ’’ ගීතය කියද්දි මිනිත්තු තුනහමාරක්ම පසුබිමින් යන්නෙ ඒ බීම බෝතල දැන්වීම. භාතියගෙන් මම මේ ගැන ඇහුවම ඔහු කිව්වෙ ‘‘අනේ දන්නෙ නෑ ඒ ගීතය ඔය දෙන්නගෙද කියල, අපේ කොම්පනියේ මැනේජර් මේක අරන් තියෙන්නෙ ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් ට රුපියල් 60000 දීල. ගීතය අයිතිය තියෙන්නෙ ප‍්‍රඩියුසර්ට කියලයි එයා හිතල තියෙන්නෙ.’’ භාතිය එහෙම කිව්වා.’’

‘‘අපි නිර්මාණ අයිතිය වෙනුවෙන් නේද මේ ඔස්කාර් එක හදන් සටන් කරන්නෙ. ඔය ගොල්ලන්ට යුතුකමක් තිබ්බා නේද නිර්මාණවල කර්තෘවරුන්ගෙන් අවසර ගන්න කියල මම එතකොට භාතියගෙන් ඇහුවා. එතකොට දෙන්නම ඉතින් බබාල වගේ කතා කරා. ඒ නිසාම අපි යෝජනා කළා ඔස්කාර් එකට මේ දෙන්නට මේ කරපු දේට ද`ඩුවමක් දෙන්න කියල. මොකද භාතියල ඔස්කාර් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඇතුල් වෙද්දි ගොඩක් තැන්වලින් විරෝධය ආවේ මේ දෙන්න හොඳ වෙළෙන්දො දෙන්නෙක් ඒ අය මොන අරමුණකින්ද මේකට එන්නෙ කියල හිතන්න කියල. එහෙම විරෝධයක් එද්දි එයාල වෙනුවෙන් පෙනී හිටියෙත් මම. ඔවුන් හොඳ තරුණ නියෝජනයක් කියල අධ්‍යක්ෂක මණ්ඩලයටත් දැම්මා. අන්තිමේදි ඕන්න තරුණ නියෝජනය ජ්‍යෙෂ්ඨ නියෝජනයට කෙලල ඇරිය හැටි.’’

රෝහණ වීරසිංහයන් එසේ පැවසුවේ දැඩි සිත් තැවුලෙනි. අවසානයේ සුනිල් අරියරත්න සහ රෝහණ වීරසිංහ ඔස්කාර් සංවිධානයේ දැරූ ස්වකීය තනතුරුවලින් ඉල්ලා අස්විය.

‘‘අපි බැලූවේ නීතිමය පැත්තට නොගිහින් ඔස්කාර් සංවිධානය හරහා මේකට විසඳුමක් ගන්න. නමුත් ඉතින් එතනින් විසඳුමක් ලැබෙන්නෙ නැති නිසා දැන් අපිට නීතිමය පැත්තට යන්න වෙයි.’’ මහාචාර්ය සුනිල් ආරියරත්න මේ අර්බුදය සම්බන්ධයෙන් දැන් පසුවන්නේ එවැනි ස්ථාවරයකය.

‘‘ මොකද අපිට මෙහෙම දෙයක් කරනවා නම් සාමාන්‍ය කෙනෙක්ගෙ බුද්ධිමය දේපල පැහැරගෙන දන්නෙ නෑ කියන එක සාමාන්‍ය දෙයක් බවට හැරෙයි. නීතිය දන්නෙ නෑ කියන එක සමාවට කාරණාවකුත් නෙමෙයි. මේ ගීතයේ අයිතිකරුවන් දන්නෙ නෑ කියන එක පිළිගන්නත් බෑ. මොකද මේක ග‍්‍රැමෆෝන් යුගයේ ගීතයකුත් නෙමෙයි. මීට වසර කිහිපයකට කලින් එළියට ආව ඒ කාලේ සමාජයේ විශේෂයෙන් කතාබහ වුණ ගීතයක් තමයි ‘‘ඇඩ‍්‍රස් නෑ’’ කියන්නෙ. ඉතින් මේක ගැන දන්නෙ නෑ කියන්නෙ ඒගොල්ලො සංගීත ලෝකෙ ඉන්න අය නෙමෙයි’’ සුනිල් ආරියරත්නයන් එසේ චෝදනා කරන්නේය.

මෙවැනි චෝදනා එල්ලවද්දි භාතිය සන්තුෂ් විසින්ද කරුණු පැහැදිලි කරමින් සමාජ ජාල මාධ්‍ය ඔස්සෙ දීර්ඝ ලිපියක් පළ කර තිබිණ.

‘‘ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වෙත…

සර්, මුලින්ම කියන්න ඕන මේක රාජකාරි නිල ලිපියක් නෙවෙයි. බොහෝ කාලයක් තිස්සේ ඔබතුමන්ලා හඳුනන, යම් යම් වැඩවලදී එකට හමුවන, ඊටත් වඩා හදවතේ ගැඹුරුම තැනින් ඔබ දෙදෙනාට ගරු කරන දෙදෙනෙක් ලෙස මේ ලිපිය ලියන්න හිතුනා.

සර්, අපි දෙදෙනා මේ කේෂ්ත‍්‍රයට පැමිණි දා සිට, හැකි අයුරින් අපේ ගීත නිර්මාණය කරගෙන, ඒවා ජනගත කර, ඉන් ලැබෙන ආශීර්වාදයෙන් පුළුවන් තරම් දුරක් බොහොම පරිස්සමට මේ ගමන මෙතෙක් දුරක් ආවා. අවුරුදු 23ක් සංගීත ක්ෂේත‍්‍රයේ ගෙවුණු කාලය ඉතා වගකීමෙන් පැමිණි ගමනක් බව කාරුණිකව කිවයුතුයි. සමාජ මාධ්‍ය මෙතරම් ප‍්‍රචලිත, සැමදෙනාම පරිශීලනය කරන යුගයක ගීතයක අයිතිය බලෙන් පැහැරගෙන එවැනි ප‍්‍රශ්නයක් අප හිස මත පටවගන්නට තරම් අප වගකීම් රහිත මිනිසුන් ලෙස සිතීම පුදුම සහගතය.

අප ආයතනයට තවත් පෞද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප‍්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටලූව පැන නැගුණා.

සර්, මීට පෙරත් අපි ඇත්තටම මොකද උනේ කියන කාරණාව ඔබතුමන්ලාට පැහැදිලි කරලා දුන්නා. නමුත් ඔබ දෙදෙනා ධීක්‍් ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍යවල අප ඔබගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදු වූ ආකාරය හරි ආකාරව පැහැදිලි කරදීමෙන් පසුවද, නැවතත් අප වංචාවක් කර ඇති බව සදහන් කර තිබීම පිළිබඳව අපගේ කනගාටුව ප‍්‍රකාශ කරන අතර, අප දැඩි ලෙස සිත් තැවුලට පත්කළ කරුණාවක් වූ බවද මෙහිදී කිව යුතුමයි. එම නිසා නැවත එම කතාවම කියන්නම්,

ඉහත කී පෞද්ගලික ආයතනය මෙම ව්‍යාපෘතිය අප ආයතනයට ලබා දී පැවසුවේ තෝරාගත් ගීත කීපයක් ආධුනික ගායකයන් සමග නැවත ප‍්‍රති නිර්මාණය කර, රූප රචනා සිදුකර ලබාදෙන ලෙසයි. එම එක් ගීතයක් සඳහා ඔවුන් රුපියල් දෙලක්ෂ අසූදාහක මුදලක්ද අප ආයතනයට ගෙවීමට එකඟ වුණා. එහිදී අප කාර්ය මණ්ඩලය එයින් රුපියල් හැටදහසක මුදලක් කර්තෘභාග වෙනුවෙන් වෙන් කළා. අපි අපේ කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නේ, ගීතවල බුද්ධිමය දේපළ හිමිකරුවන්ට කතාකර අවශ්‍ය පිරිවැය ලබාදී, අවශ්‍ය අවසරය ලබාගන්නා ලෙසයි. මෙම මුදල් අගය අප ආයතනය වෙන් කළේ මෙම කාලවකවානුවේ ධීක්‍් ආයතනය සංගීත වැඩසටහන්වල ගීත ප‍්‍රති නිර්මාණය සඳහා රූපවාහිනී නාලිකා සමග රුපියල් හැටදහසක අගයක් සාකච්ඡා කරගෙන යන පසුබිමකයි. මාධ්‍ය ආයතන එම අගයට එකඟ නොවුවත් අප ආයතනය එම අගය ගෙවීමට තීරණය කළා. ඒ අදාළ සියලූම පාර්ශ්වයන්ට කර්තෘභාග ගෙවීම් අප ආයතනය මගින් සිදු කළා.

මෙම වැඩසටහනට තීරණය වූ ගීත අතර එක චිත‍්‍රපට ගීතයක් තිබුණා. එය ‘ඇඩ‍්‍රස් නෑ’ චිත‍්‍රපටයේ ගීතයකි. අප ආයතනය සියලූම ගීතවල හිමිකරුවන් සමග සම්බන්ධ වී කර්තෘභාග පිළිබඳව එකඟවූ අතර, ‘ඇඩ‍්‍රස් නෑ’ යනු චිත‍්‍රපටයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එම ගීතයේ අයිතිය පිළිබඳ තොරතුරු විමසුවා. එහිදී මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයාට මෙම ගීතයේ අයිතිය ඔහු සතුව ඇති බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක මුදලක් ගෙවා, මෙම ගීතය භාවිතා කිරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබා ගත්තා. මෙම සමස්ත ක‍්‍රියාදාමයම සම්බන්ධ නිල ලිපිලේඛන අප ආයතනය සතු ඇති බවත්, අවශ්‍ය නම් ඒවා ඔබතුමන්ට ඉදිරිපත් කළ හැකි බවත් දන්වන්න කැමතියි.

ඊට පසුවත් මේ සම්බන්ධව අපට චෝදනා නැගෙනවිට, අප විමතියට පත් වූයේ ඒ නිසයි. එබැවින් මේ සිදුවීම ආරංචි වූ වහාම අප උත්සහ කළේ ඔබ හමුවීමටයි. අප ඔබගේ නිවසේ දොරකොඩටම පැමිණියත් අපව හමුනොවී, ධීක්‍් ආයතනය අප පාර්ශ්ව දෙක සාකච්ඡාවකට ගෙන්වූ අවස්ථාවේ ද අප සමග සාකච්ඡා නොකොට අප මගහැර ඔබ කාර්යාලයෙන් පිටව ගියා. ඉන් අනතුරුව කීප වරක්ම විවිධ පාර්ශ්ව හරහා ද ඔබ හමුවීමට උත්සහ කළත් අප හට ඒ අවස්ථාවන් ද නොලැබී ගියා.

සර්, මෙය අපටත් කනගාටුව සහ හිත් වේදනා ගෙනදෙන සිදුවීමක්. එල්ලවෙන චෝදනාවලට වඩා මේ හේතුවෙන් ඔබ දෙදෙනා සිත් තැවුලට පත්වීම, කිසි විටෙකත් අපගේ මේ ජීවිතය තුළ අප අපේක්ෂා නොකළ සිදුවීමක්.

එහෙත් ඔබතුමන්ලා රුපියල් ලක්ෂ දහයක මුදලක් එකවර ඉල්ලා සිටින විට, ආයතනික මට්ටමෙන් අපට ද ඒ පිළිබඳව නැවත සිතා බැලිය යුතු වනවා. කෙසේ වෙතත් මෙම ගැටලූව විසඳාගත යුතුවන්නේ, ඔබ පාර්ශ්වය සහ චිත‍්‍රපටි නිෂ්පාදකවරයාගේ පාර්ශ්වය අතර බව ඉහත සඳහන් කළ කරුණු අනුව අපගේ දැක්මයි.

කෙසේ වෙතත් ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා, රුපියල් හැටදහස (60,000) බැගින්, රුපියල් එක් ලක්ෂ විසිදහසක (120,000/=) කර්තෘභාග මුදලක් අපේ අතින් ලබාදීමට අපේක්ෂා කරන බව අප ධීක්‍් ආයතනයට ලිඛිතව දැනුම්දුන්නා. නමුත් යම් හෙයකින් ඔබ දෙපල මීට වඩා මුදලක් අපේක්ෂා කරන්නේ නම් ඉහත කී මුදලට අමතරව, ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා තනු නිර්මාණයට සහ පද රචනයට රුපියල් ලක්ෂ දෙක බැගින් (200,000/=), ලක්ෂ හතරක (400,000/=) මුදලක් අප ආයතනය විසින් ප‍්‍රදානය කිරීමට ද කැමැත්ත ප‍්‍රකාශ කළා. ඉහත කී කරුණ අප විසින් ධීක්‍් ආයතනයට දැනුම් දුන්නේ ඔබ ගේ ලිපිය ලැබුණු ජනවාරි මාසය තුළමයි. අපට අද වනතුරු මෙයට පිළිතුරක් ලැබී නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ අප ගෙවීම් පැහැර ඇති බවට නගන චෝදනා අපගේ මවිතයට සහ කනගාටුවට කාරණයක්.

අවසන් වශයෙන් මෙසේ ප‍්‍රකාශ කිරීමට අපි කැමතියි. ඔබ දෙදෙනා වැරදි වැටහීමක් නිසා මොන චෝදනාවක් කළත්, ඔබ දෙදෙනා මේ රටේ කලාවට සිදු කළ විශිෂ්ට සේවය, කරපු නිර්මාණවලට අපේ හිතේ ඇති ආදරයට පුංචි පලූද්දක්වත් කරන්න බෑ. ඔබ දෙපල අපට කර ඇති මේ චෝදනාව පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප‍්‍රකාශ කරන අතර, සිදුවුණදේ නැවත මතක් කළේ ඔබතුමන්ලා වැරදී යැයි කියලා චෝදනා කරන්න හෙම නෙවෙයි, සිදුවී ඇති දේ ගැන කරුණු කාරණා කෙලින්ම ඉදිරිපත් කරන්නයි. ඒ මොනදේ උනත් අපි ඔබතුමන්ලාට හදවතින්ම ආදරෙයි… ඒකේ වෙනසක් නෑ.’’

ඒ භාතිය සහ සන්තුෂ්ගේ දීර්ඝ පැහැදිලි කිරීම ය. කෙසේ වෙතත් මේ ගැටලූවට හේතුවුණු තවත් පාර්ශ්වකරුවකු වන්නේ ‘ඇඩ‍්‍රස් නෑ’ චිත‍්‍රපටය නිෂ්පාදනය කළ ජනිත් මාරසිංහය. භාතිය සන්තුෂ්ගේ කළමනාකරු රුපියල් හැටදහසක් ලබා දී එකී ගීතය භාවිත කිරීමේ අයිතිය ලබා ගත්තා යැයි පවසන්නේ ඔහුගෙන් ය. ඇඩ‍්‍රස් නෑ ගීතයේ අයිතිය පූර්ණ වශයෙන් ඇත්තේ ඔහු සතුවද. ඔහු සම්බන්ධව කරන ප‍්‍රකාශය මේ ගැටලූව ලිහා ගැනීමට වැදගත් ය.

‘‘නෑ මම මේ වෙලාවේ ඔය ප‍්‍රශ්නයට උත්තර දෙන්න ගියොත් ඒක ගැටලූකාරි වෙනවා. ඒ නිසා එයාල අතර තියන මත ගැටුම ඒ අය විසඳගයි. මම මේ සම්බන්ධව මේ ගැන මොනවත් ප‍්‍රකාශ කරන්නෙ නෑ.’’ ගීතයේ අයිතිය ගැන ඉඟියක්වත් නොදී එසේ ප‍්‍රකාශ කර ඔහු පැත්තකට වුණේය. ඇත්තෙන්ම චිත‍්‍රපටයක ගීතයක් සම්බන්ධයෙන් අයිතිය ඇත්තේ චිත‍්‍රපටයේ නිෂ්පාදකටද. නොමැති නම් එය ගීත නිර්මාණකරුවන් සමග චිත‍්‍රපට නිෂ්පාදක ඇති කරගන්නා ගිවිසුම අනුව තීරණය වන්නක්ද යන කාරණය පහදගන්නා තැනට දැන් මේ ගැටලූව පැමිණ ඇත. ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මේ ගැන කරන පැහැදිලි කිරීම අතිශය වැදගත්කමකින් යුතුය. ඒ, ඔහු ඇඩ‍්‍රස් නෑ චිත‍්‍රපටයේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා වන නිසාය.

‘‘චිත‍්‍රපටයක ගීතයක් ඒ චිත‍්‍රපටය තුළ අයිතිය චිත‍්‍රපටයේ නිෂ්පාදකට තියනවා. නමුත් ඒ ගීතයේ නිර්මාණ අයිතිය නිෂ්පාදකට ලැබෙන්නෙ නෑ. චිත‍්‍රපටයෙන් බැහැරව ඒ ගීතයක් භාවිතා කිරීමේ අයිතිය නිෂ්පාදකට නෑ. ලංකාවේ චිත‍්‍රපට ගීතයක් හැදෙද්දී පළමු තැන හිටින්නෙ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. ගීතය මෙලෙස ලියවිය යුතු බවත් මෙලෙස සංගීතය යෙදිය යුතු බවත්, මෙලෙස ගායනා විය යුතු බවත් තීරණය කරන්නෙ අධ්‍යක්ෂකවරයා. මේ ගීතය විශේෂ ගීතයක්. මහාචාර්ය සුනිල් ආරියරත්න ලවා මේ ගීතය ලියව

ගන්න මම එතුමාට බජාර් වචන තිස් පහක එකතුවක් ලබා දුන්නා. හැබැයි ඒකෙ ඇතුලෙ තියන නිර්මාණාත්මක ගුණය තනිකරම සුනිල් ආරියරත්නයන්ගෙ. නමුත් අවශ්‍ය තේමාව දක්වා මෙහෙයවන්නෙ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා. ඇඩ‍්‍රස් නෑ ගීතය තමයි මගේ ‘ඇඩ‍්‍රස් නෑ’ චිත‍්‍රපටයේ තේමා ගීතය. මේ වර්ගයේ ගීතයක් අවශ්‍යයි කියල එතුමන්ට ඒත්තු

ගන්වන්නෙ, ඒකට ගයාන් පෙරේරා යොදා ගන්න තීරණය කරන්නෙ අධ්‍යක්ෂකවරයා වූ මම. නමුත් ඒ චිත‍්‍රපටයෙන් බැහැරව මේකෙ පද රචනය සහ සංගීත අධ්‍යක්ෂණය ගත් කල ඒකෙ අයිතිය තියෙන්නෙ පද රචකයාට සහ සංගීත අධ්‍යක්ෂකවරයාට. කොහොම හරි ඇඩ‍්‍රස් නෑ ගීතය චිත‍්‍රපටයෙන් පරිබාහිරව භාවිතා කරල කියල මම දැනගත්තෙ මේ ඔක්කෝම සිදුවුණාට පස්සෙ.’’

– divaina

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

සංචරන මැද මන්ත‍්‍රී නිවසේ කසිප්පු පෙරයි..

Published

on

By

මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයාගේ බිරිද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ රැකියාවක් සිදු කරන බව ද ඇය සමගි බලවේගයෙන් ප්‍රාදේශීය සභාවට පත් කළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බවද කියති.

සම්පූර්ණයෙන් වැඩ නිම නොකල නිවසේ කාමරයක් තුළ ගෑස් ලිපක් යොදා කසිප්පු පෙරීම සිදු කර ඇති බව පොලීසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා හා ඔහුගේ ගෝලයා සන්තකයේ තිබී ගෝඩා මිලි ලීටර් 20000 ක් ,කසිප්පු මිලි ලීටර් 4750ක් හා ඒවා පෙරීමට ගන්නා උපකරණපොලීසිය භාරයට ගෙන ඇත.

පොලීසිය වෙත ලැබුණු තොරතුරකටඅනුව මෙම වැටලීම සිදු කර තිබේ.

මාතර මාකාවිට පදිංචි 56 හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ගාල්ල තවලම පදිංචි 38 හැවිරිදි ඔහුගේ ගෝලයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

– lankadeepa

Continue Reading

Local

ප‍්‍රසන්නගේ ප‍්‍රකාශය බොරු කියමින් මහා මාර්ග අමාත්‍යංශ ලේකම්ගෙන් නිවේදනයක්…

Published

on

By

ගම්පහ දිස්ත‍්‍රික්කය තුල මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිම අත්හිටවූ බවට අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් සිදුකරන ලද ප‍්‍රකාශය මහාමාර්ග අමාත්‍යංශය විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.

මේ බව සදහන් කරමින් එම අමාත්‍යංශ ලේකම් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය
මහාමාර්ග අමාත්‍යාංශය

‘ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ තාවකාලිකව නැවතෙයි ’ යන ශීර්ෂය යටතේ පල වී ඇති ප්‍රවෘත්ති වාර්ථාව පිලිබදව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සදහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු නිසා පසුගිය දා පැවති අධික වර්ෂාවෙන් ගම්පහ නගරය හා අවට ප්‍රදේශ ගං වතුරෙන් යට වූ බවට වාර්තා පලවිය . මේ සම්බන්ධව මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිතුමන්ලාගේ සහභාගිත්වයෙන්ද මාර්ග සංවර්ධන අධිකාරියේ , වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිළධාරීන් සමග සාකච්ඡාවක් පවත් වන ලදි.

එහිදී ගම්පහ නගරයත් ඒ අවට ප්‍රදේශයන් ජලයෙන් යටවීම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.එහිදී මතු වු කරුණු අනුව ඉතා කෙටි කාලයකදී මිලි.මී.300 කට අධික වර්ෂා පතනයක් පැවතීමත්, ප්‍රදේශයේ ජලය බැස යාම සදහා ඇති කාණු පද්ධති හා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය නොකිරීමත්,දුම්රිය මාර්ගයේ ජලය බැස යාමේ අවහිරතාත් ගං වතුර සදහා හේතු වු ප්‍රධාන කරුණු ලෙස හදුනා ගන්නා ලදී.

එසේ ම එහිදී අධිවේගී මාර්ගයේ තැනීම් කටයුතු කරගෙන යාම පිලිබදව එමගින් ගං වතුර ඇති වීමට යම් හැකියාවක් සිදුවූවා දැයි ද සාකච්ඡා කරන ලදී.ඒ අනුව අධිවේගී මාර්ගය තැනීමට ප්‍රථම සිදු කරන ලද සක්‍යතා අධ්‍යනයේ දී සිදු කල ජල කළමනාකරණය අධ්‍යනය (hydrology study) නැවත සමාලෝචනය කිරීමටත් ජලය බැසයන බෝක්කු හා පාලම් සංඛ්‍යාව හෝ ඒවායේ ප්‍රමාණ සංශෝදනය කිරීමට යෝජිත අධ්‍යනයේ දී නිර්දේශ කරන්නේ නම් ඒවා ක්‍රියාත්මක කිරීමටත් තීරණය කරන ලදී.

එසේ ම ප්‍රදේශයේ ජනතාවට අධිවේගී මාර්ගය තැනීමේ කටයුතු සිදු කිරීම නිසා යම් පීඩාකාරී තත්වයක් ඇතිවී ඇත්නම් හා ඉදිරියේ දී ඇතිවීමේ හැකියාවක් ඇතිනම් ඒවා මග හරවා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරන ලදී.

ඒසේ නොමැතිව කිසිදු අවස්ථාවක මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බව ද දන්වා සිටිමි.

ලේකම්
මහාමාර්ග අමාත්‍යාංශය

Continue Reading

Local

අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින්.. පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

Published

on

By

69 ලක්‍ෂයක ජනවරමකින් බලයට පත් වර්තමාන තම රජයද පසුගිය යහපාලන රජය කළ කටයුතුම කරන බව පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මෑතකදී ඉහළ දමන ලද තෙල් මිල තෙල් මිල හේතුවෙන් ඒ බව පැහැදිලි වන්නේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

යහපාලන රජය කළදේම වත්මන් රජය ද කරන්නේ නම් ජනතාවගේ බලවත් අප්‍රසාදය තම රජයට ද ලැබෙනු නොඅනුමාන බව ද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ජනතාව කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්වී තුන්වේල තියා එක වේලක්වත් කෑමට නැති අසරණ මිනිස්සු රටේ සෑම ප්‍රදේශයකම හැඬූ කඳුළෙන් ජීවත්වෙන බවද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී රජයක් වශයෙන් පළමුව කළ යුතු වන්නේ යම්කිසි කර්මාන්තයකින් පාඩු වන්නේ නම් එය රටේ ජනතාවගේ හිසට පටවවන්නේ නැතිව ඔවුන් වසංගතයෙන් රැකගෙන කුසගින්න නිවා දැමීමට හැකි ක්‍රමවේදයක් සකස් සැකසීම බව ද ඔහු පැවසීය.

Continue Reading

Trending

Copyright © 2020 pattare.lk