Local
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප්‍රධානියා මෙන්න.. ඔහු හිටපු පොලිස් ලොක්කෙක්…
Published
3 years agoon
By
admin
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.
මෙම ඝාතනයේ අනිත් වෙඩික්කරු රටින් පලා ගොස් ඇති බවට තොරතුරු ද විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇති අතර ඔහු නාවික හමුදාවෙන් පැනගිය ගම්පහ අයෙකි. මෙසේ රටින් පලා ගොස් ඇත්තේ යැයි කියවෙන්නේ පංච පුද්ගල ඝාතනයෙන් පසු කඹුරුපිටිය නගරයෙන් ජීප් රථයෙන් බැස මාතර බලා ගමන් කරන බස් රථයකින් පලා ගිය පුද්ගලයාය.
ඔහු රටින් පලා ගොස් ඇතැයි පැවසෙන්නේ ගුවන්තොටුපල හරහා එම වෙඩි ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව යැයිද විමර්ශන තොරතුරු අනාවරණය කළේය.
දැනට මෙරට රැඳී සිටින බවට විශ්වාස කරන දෙවැනි වෙඩික්කරු වන වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයා කොස්ගොඩ සුජී සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයා මෙම පස් පුද්ගල ඝාතනයේ මෙරට සිටින මහ මොළකරු ලෙස විමර්ශන කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇත.
ඒ අනුව පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු මෙම හිටපු පොලිස් පරීක්ෂකවරයා බව විමර්ශන නිලධාරීන්ගේ මතය වී තිබේ. මෙම පුද්ගලයා ප්‍රහාරයට ගමන් ගත් ජිප් රථයද පදවා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ආරක්ෂක කැමරා දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් මෙම වෙඩික්කරුව හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
1983 උපත ලද මොහු නමින් රන්මුණි මහේෂ් හේමන්ත ද සිල්වාය. මෙම පුද්ගලයා ඌරගස්මන්හන්දිය පුවක්ගහවත්ත, මාකන්දන, ප්‍රදේශයේ පදිංචිකරුවකු බව උසස් පොලිස් නිලධාරික් සඳහන් කළේය.
මෙම පුද්ගලයා පොලිස් සේවයට බැඳී ඇත්තේ 2007 වර්ෂයේ දීය. ඒ උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙසිණි.
කොස්ගොඩ සුජී සහ ඔහුගේ ප්‍රධාන ගෝලයෙක් වන ඌරගහ මයිකල් නමැත්තන් සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති මිනිස් ඝාතන වෙඩි තැබීම් ඇතුළු අපරාධ රැසකට ආධාර හා අනුබල දුන් අයෙක් ලෙසද මෙම පුද්ගලයාව හඳුනාගෙන තිබේ. වැඩ තහනමකට ලක්ව ඇත්තේ එම අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් අපරාධවල නිරත වූ අයෙක් වූ බැවිනි.
මෙම පුද්ගලයා මෑතකදී ඔහු සමඟ පොලිස් සේවයේ සිට සමකාලීන නිලධාරියකු මුණගැසී මානසික පීඩනයකින් සිටින බව සඳහන් කරමින් එම නිලධාරියා නවාතැන් ගෙන සිටින කොළඹ පිහිටි පොලිස් නිල නිවසකද රැඳී සිට ඇති බව අනාවරණය වී තිබේ. එම නිලධාරියා රථවාහන අංශයක ස්ථානාධිපතිවරයෙකි. මෙම සැකකරු කොළඹ එම නිලධාරියාගේ නිල නිවසේ නවාතැන් ගෙන සිට ඇති බව අනාවරණය වී ඇත්තේ දුරකථන ජාල විශ්ලේෂණයකදී එම නිලධාරියාගේ දුරකථනය හා ඔහුගේ දුරකථනය සම්බන්ධ වී ඇති බව හෙළිවීමෙන් පසු ඒ ගැන අදාළ නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය.
මේ අතර පොලීසිය ඊයේ මාධ්‍යට ඡායාරූපයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ආන්දෝලනාත්මක ඝාතන විමර්ශනයක් සම්බන්ධයෙන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය අපේක්ෂා කරන බවය.
ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් තොරතුරු ලබාදීමට කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියකුට අයත් ජංගම දුරකථන තුනක්ද ප්‍රසිද්ධ කර තිබුණි. එම දුරකථන අංක වන්නේ 0742 226 022 /0718 591 492 /0718 594 455 වේ.
Dinamina
You may like
Local
අපි කියන මිලට වී නොගන්න මෝල් හිමියන් Black List කරනවා.. ලාල් කාන්ත
Published
4 months agoon
August 1, 2026By
admin
රජය නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට අපොහොසත් වන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි සාලිකා ශාලාවේදී පැවැති ගොවි හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා රජය මගින් සහනදායී ණය පහසුකම් ලබා දෙන්නේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ කොන්දේසිය මත බවයි.
එසේ තිබියදී ඇතැම් මෝල් හිමියන් සහතික මිලට වඩා අඩු මිලට වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයන්ට ඉදිරියේදී රජය සමග ගනුදෙනු කිරීමට ඇති අවස්ථාවන් අහිමි කරන බවත් ඔහු පැවසීය.
රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ අමාත්‍යවරයා, මෙරට බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ වසරේ ආනයනය කිරීමට නියමිතව තිබූ බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණය නතර කිරීමට රජය තීරණය කළ බව සඳහන් කළේය.
මේ හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදකයන් මුහුණ දී ඇති අමුද්‍රව්‍ය හිඟයට විසඳුමක් ලෙස, සහල් වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බවද ඔහු අනාවරණය කළේය.
“සහල් වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කිරීම තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය අපි අහෝසි කළා. දැන් කිසිදු බාධාවකින් තොරව සත්ත්ව ආහාර හෝ වෙනත් නිෂ්පාදන සඳහා සහල් අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එමගින් වී සඳහා පවතින ඉල්ලුම තවත් වැඩි වෙනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීමේදී වී වගාවට පමණක් සීමා නොවී, බඩඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව ඉදිරි කන්නයේදී තවදුරටත් වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Local
ලෝක කුසලාන තරග බලන ක්‍රීඩා ලෝලීන්ට තහනම් භාණ්ඩ ලයිස්තුවක්..
Published
10 months agoon
February 7, 2026By
admin2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මෙම තරගාවලිය 2026 පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 08 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් මෙම තරග නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තරග පැවැත්වෙන දිනයන්හිදී කොළඹ රථවාහන කොට්ඨාසය විසින් පහත පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබයි.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන දිනයන්හිදී වින්සන්ට් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්රීටෝ බබාපුල්ලේ පාලම හන්දිය, සෙබස්තියන් ඇළ පාර (මැල්වත්ත පාලම අසලින්), අඩි 100 පාර සහ සද්ධර්ම මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත.
විශේෂයෙන් පෙබරවාරි 08 (ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය), 15 (ඉන්දියාව සහ පාකිස්ථානය) සහ 19 (ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ) යන දිනවල පැවැත්වෙන තරග සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වේ. මෙම දිනවල පැමිණෙන ප්‍රේක්ෂකයින් සඳහා පැරණි MOD රථගාල සහ පෝට්සිටි (Port City) රථගාලේ සිට ක්‍රීඩාංගනය දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම පෙබරවාරි 11, 13, 21, 25 සහ 27 යන දිනවල පැවැත්වෙන තරග සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක්, සතොස, සෙබස්තියන් ඇළ, කෝවිල පාර සහ අඩි 100 පාර දෙපස රථගාල් පහසුකම් සපයා තිබේ.
SSC ක්‍රීඩාංගනය ආශ්රිත රථවාහන සැලැස්ම
SSC ක්‍රීඩාංගනයේ තරග පැවැත්වෙන පෙබරවාරි 07, 09, 10, 14 සහ 18 යන දිනවලදී රාජ්‍ය පරිපාලන හන්දිය, මෙට්ලන්ඩ් පෙදෙස සහ විද්‍යා මාවත ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
මෙම තරග සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීමට නිදහස් මාවත, පදනම් ආයතන මාවත, CR&FC, SSC ක්‍රීඩා සමාජ රථගාල, ක්‍රීඩා අමාත්‍යාංශයේ පරණ මැක්ඩොනල්ඩ් රථගාල, රූපවාහිනී රථගාල සහ BMICH පරිශ්‍රය වෙන් කර ඇත.
තරගාවලිය සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මීට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබයි.
විශාල ප්‍රමාණයේ ගමන් මලු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒම සපුරා තහනම් බව පොලිසිය මහජනතාවට දැඩිව අවධාරණය කරයි.



Local
ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කර කොරියානුවන්ට විවාහ කර දිය යුතුයි.. කොරියා ආණ්ඩුකාර..
Published
10 months agoon
February 7, 2026By
admin
දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ විසින් එරට පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට කළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සහ විවේචනයක් මතු වී තිබේ.
දකුණු ජොල්ලා ප්‍රාන්තයේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. ක්වාන්ජු සහ දකුණු ජොල්ලා පරිපාලන ඒකක ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති මෙම හමුවට දේශපාලන නායකයින්, විද්වතුන් සහ ප්‍රාදේශීය වැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
සභාව අමතමින් කිම් හී-සූ පෙන්වා දුන්නේ දකුණු කොරියා ජනගහනය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ 89ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 20ක්ම දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පිහිටා ඇති බවත්ය. 2000 වසරේ සිටම මෙම ජනගහන අර්බුදය පුරෝකථනය කර තිබුණද රජය හෝ විද්වතුන් ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය.
“අවසාන විසඳුම ලෙස හෝ අප ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් ‘ආනයනය’ කර, ගම්බද ප්‍රදේශවල වෙසෙන අවිවාහක පුරුෂයන්ට විවාහ වීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන සකස් කළ යුතුයි. මිනිසුන් නොමැති රටක කර්මාන්ත නගාසිටුවීමෙන් ඇති ඵලය කුමක්ද?”
මෙම ප්‍රකාශය යූ ටියුබ් (YouTube) නාලිකා ඔස්සේ සජීවීව විකාශය වූ අතර, එම අවස්ථාවේදීම පැනලිස්ට්වරයෙකු ලෙස සහභාගී වූ ක්වාන්ජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් විසින් එම ප්‍රකාශය නුසුදුසු බව පවසමින් විරෝධය පළ කරනු ලැබීය.
ග්‍රාමීය සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ජනගහන අවපාතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම ආණ්ඩුකාරවරයාගේ අරමුණ වන්නට ඇති බව සමහරු පවසතත්, ඔහු භාවිතා කළ වචන මාලාව දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.


