Connect with us

Local

මා ලක් මෑණියන් වැල් පාලමෙන් එතෙර කලා.. IMF ශ‍්‍රී ලංකා ගිවිසුම මෙන්න..

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවය පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙසේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගන්න අපට පුළුවන් වූ බව මේ ගරු සභාවට නිල වශයෙන් දන්වා සිටින්න මම කැමැතියි. රාජ්‍ය මුදල් පිළිබඳ සියලු බලතල ව්‍යවස්ථාව මගින් පවරා තියෙන්නෙ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා අද අයිඑම්එෆ් එකඟතා ලියවිල්ල සභාගත කරමින්, අපට ලැබුණු විස්තීරණ ණය පහසුකම පිළිබඳ පළමු නිල ප්‍රකාශය මේ පාර්ලිමේන්තුව හමුවේ කරන්නටයි මම දැන් සැරසෙන්නේ.

මම පසුගිය ජූලි 09 වැනිදා බාරගත්තේ ගිනි ගත්තු රටක්. අවුලෙන් අවුලට පත් වෙලා තිබුණු රටක්. හෙට දවසක් ගැන අබමල් රේණුවක බලාපොරොත්තුවක් තිබුණෙ නැති රටක්. නිල වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශ කරපු රටක්. උද්ධමනය සියයට 73 ක් දක්වා ඉහළ ගිය රටක්. ඉන්ධන, ගෑස් පෝලිම්වල මිනිස්සු දවස් ගණන් දුක් විඳින රටක්. පාසල් වැහිච්ච රටක්. දවසකට පැය දහයක් දොළහක් විදුලිය කප්පාදු කරන රටක්.

ගොවීන්ට වගා කරන්න පොහොර නොතිබුණු රටක්. නීතිය හා සාමය වල් වැදිච්ච රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන ඒවායේ පිටස්තරයන් පදිංචිවෙලා හිටපු රටක්. මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනිතියන රටක්. මහදවල් මහමඟ මිනිස්සු මරා දාපු රටක්.

මෙහෙම පසුබිමක වගකීම් බාරගන්න කිසිවෙක් කැමති වුණේ නෑ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරේ බලන්න කල් ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා . මගෙන් මේ ඉල්ලීම කළේ, ඒ කවුරුත් වගකීම භාර ගන්න ඉදිරිපත් වුණේ නැති අවස්ථාවකයි.

මම කිසිම කොන්දේසියකින් තොරව අභියෝගය බාර ගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නෑ. මට මගේ කියා මන්ත්‍රීවරු හිටියේ නෑ. හැබැයි මේ කිසිවක් නැතත්, මට තිබුණෙ එකම එක ශක්තියයි. ඒ, මම ඉපදුණ, මම හැදුන වැඩුණ, මම අධ්‍යාපනය ලබපු මගේ ආදරණීය රට යළි ගොඩ ගන්න මට පුළුවන් කියන විශ්වාසය විතරයි. ඒ විශ්වාසය තහවුරු කරන්න අතීත අත්දැකීම් ගණනාවකුත් මට තිබුණා.

වසර 2001 වෙද්දී රටේ ආර්ථික ඍණ වර්ධනයකට කඩා වැටුණා . නමුත් පාලනය බාර අරන් වසර 2 කට අඩු කාලයක් තුළ රටේ ආර්ථිකය හරි මඟට ගන්න මට පුළුවන් වුණා. ඒ විතරක් නොවෙයි, ටෝකියෝ ආධාර සමුළුව මගින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආධාර දිනා ගැනීමට මට පුළුවන් වුණා.

අවාසනාවකට ඊට පස්සේ පාලනය භාර ගත්ත අය ඒ මුදල නිසි ආකාරයෙන් පාවිච්චියට ගත්තෙ නෑ. 2015 දී මම ආර්ථිකය භාර ගනිද්දි තිබුණෙ දුර්වල තත්ත්වයක. නමුත් 2018 වන විට අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් ලබා ගන්නට අපට හැකි වුණා. විවිධ සහන දෙන ගමන් වැටුප් 106% කින් පමණ වැඩි කරන්නටත් අප ක්‍රියා කළා.

මේ බරපතළ අභියෝගය බාර ගනිද්දී මා සතුව තිබුණේ ඒ අතීත අත්දැකීම් ඔස්සේ ඇතිකරගත් විශ්වාසය පමණයි. මම වැටුණත්, රට වට්ටන්නෙ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය බාරගත්තා.

ගරු කථානායකතුමනි,
අයිඑම්එෆ් එකඟතාව ලැබීමත් සමඟ තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩ නංවන්නට අපට මාවතක් විවෘත වී තියෙනවා. අපේ මාතෘ භූමිය යළිත් ඔසවා තබන්නට අවකාශ උදා වී තියෙනවා .

මේ ණය පහසුකම යටතේ වසර 4ක කාලයක් තුළ අපට අමරිකානු ඩොලර් බිලියන තුනක පමණ ආධාරයක් හිමිවෙනවා. අමරිකානු ඩොලර් මිලියන 330 ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් අපට ලැබී තියෙනවා. ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර අප බලාපොරොත්තු වෙනවා.

අයිඑම්එෆ් විස්තීරණ ණය පහසුකම කියන්නේ ගිනි පොලියට ගන්නා තවත් ණයක් විතරයි කියලා අර්ථ දක්වන අයත් ඉන්නවා. මේ ලැබෙන මුදලින් මුළු රටේ ණය බර ගෙවා ඉවර කරන්න බෑ කියමින් ඝෝෂා කරන අයත් ඉන්නවා.එවැනි ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ එක්කෝ ඒ අයගේ නොදැනුවත්කම. නැත්නම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා බොරුවෙන් මේ රටේ අහිංසක ජනතාව රැවටීමට ගන්නා උත්සාහයයි.

අයිඑම්එෆ් විස්තීරණ ණය කියන්නෙ වැටුණු රටක් යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සදහා දෙන පහසුකමක්. ඒ සඳහා සකස් කර දෙන වේදිකාවක්. මේ පහසුකම ලබා දීමත් සමඟ අපට ජාත්‍යන්තරයේ යළිත් පිළිගැනීමක් ලැබෙනවා. ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවන බවට සහතිකයක් ලැබෙනවා. අපේ දේශීය බැංකු යළිත් ලෝකය පිළිගන්නා මට්ටමට පත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ණයවර ලිපි වලට ගරු කරනවා. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙනවා. විදේශ ආයෝජකයන් යළිත් ලංකාව ගැන විශ්වාසය තබනවා. ජාත්‍යන්තරයේ පුළුල් අවස්ථා ගණනාවකට අපට දොරගුළු හැරෙනවා. ශක්තිමත් නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ පදනම සකස් වෙනවා.

ඒ විතරක් නෙවෙයි, මේ එකඟත්වය නිසා අපේ රටේ මූල්‍ය විනය නීති ගත වෙනවා. දූෂණ වංචා වැළැක්වීමේ දැඩි නීති රීති අලුතෙන් හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබූ නව මූල්‍ය සංස්කෘතියක් හා දූෂණයෙන් තොර පරිසරයක් මෙමගින් නිර්මාණය වෙනවා.

ගරු කථානායකතුමනි,
අයිඑම්එෆ් සංවිධානය අපේ රට පිළිබඳව තීන්දුව ගැනීමට පෙර රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්නට සමහරු උත්සාහ ගත්තා. නොනවතින වර්ජන රැල්ලක් ඇති කරන්න, ආර්ථිකය කඩා බිඳ දමන්න, රට අරාජික කරන්න සැලසුම් කළා. ඔවුන් බලාපොරොත්තු වුණේ කඩාකප්පල්කාරී ක්‍රියා මගින් අයිඑම්එෆ් සහයෝගය ලබාගැනීම වළක්වන්නයි. සමහර දේශපාලන කණ්ඩායම්, සමහර වෘත්තීය සමිති, සමහර ජනමාධ්‍ය මේ වැඩේට සෑහෙන්න මහන්සි වුණා. රට අස්ථාවර නිසා අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නේ නෑ කිව්වා.

පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැති නිසා අයිඑම්එෆ් සහයෝගය ලැබෙන්නෙ නෑ කිව්වා. මෙවැනි නොයෙකුත් බොරු ප්‍රචාර කරමින් රටේ ජනතාව පාරට බස්සන්න දඟ දැම්මා.
නමුත් රටේ බහුතර ජනතාව මේ කඩාකප්පල්කාරී වැඩවලට සහාය දැක්වූයේ නෑ. රටේ ඉදිරිගමන එක් එක් දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් කඩාකප්පල් කරන්න බහුතර ජනතාව කැමැති වුණේ නෑ. ඔවුන් රට වෙනුවෙන් වගකීමක් ඇතිව ක්‍රියා කළා.

විවිධ දුෂ්කරතා මැද , නොයෙකුත් පීඩනයන් මැද ,ඒ සියල්ල ඉවසමින් දුක් කරදර විඳ දරා ගනිමින් , රටේ බහුතර ජනතාව සන්සුන් ව ඉවසීමෙන් කටයුතු කළා. අපට අයිඑම්එෆ් එකඟතාව ලබාගැනීමට ඔවුන්ගේ කැපවීම විශාල ශක්තියක් වුණා. ඒ නිසා මුලින්ම මේ රටේ ජනතාවට මගේ ප්‍රණාමය පළ කරන්න කැමතියි.

මේ කටයුත්තේදී අපේ නිලධාරීන් දිවා රෑ නොබලා ඊට වෙහෙස වුණා. සමහර අයට තර්ජනවලට මුහුණ දෙන්නත් සිදු වුණා. ඇමතිවරුන් කැපවී කටයුතු කළා. මේ සභාවේ ගරු සාමාජිකයන් බොහොමයක් ඊට සහය දුන්නා. සමහරු ප්‍රසිද්ධියේ. තවත් සමහරු අප්‍රසිද්ධියේ. ඔවුන් සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමේ කාර්යයේදී අපේ ප්‍රධාන ණය හිමියන් අපට සහය දුන්නා. විදේශීය රටවල්, ජාත්‍යන්තර සංවිධාන අපට සහය දුන්නා. විදේශීය රාජ්‍ය නායකයන් හා මැති ඇමතිවරුන්, ජාත්‍යන්තර සංවිධාන නිලධාරීන් හා නියෝජිතයන්, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ නිලධාරීන් අපට උදව් කළා. ඒ සියළු දෙනාටත් ශ්‍රී ලංකාවේ ගෞරවනීය ස්තූතිය පළ කරනවා.

ගරු කතානායකතුමනි,
අප මේ මුල පුරන්නේ අලුත් ගමනකට, මේ ගමනේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු වෙනවා. අපේ සාර්ථකත්වයට පදනම දැමෙන්නේ එතැනින්. මේ සමහර ප්‍රතිසංස්කරණ අප 2022 අතුරු අයවැය සහ 2023 අයවැය මගින් යෝජනා කර දැනටමත් ක්‍රියාවට නංවා තියෙනවා. තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් අප හඳුන්වා දෙනවා. ඒ අතරින් වැදගත් කරුණු කිහිපයක් මම දැන් අවධාරණය කරන්නට කැමතියි.

ඒ වගේම දැනට අප ක්‍රියාත්මක කරන සහ අනාගතයේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳවත් මෙම ගරු සභාව දැනුවත් කරන්නටත් මම බලාපොරොත්තු වෙනවා.

රජයේ ආදායම වැඩි කර ගැනීමේ සැලසුම
• 2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක් බවට පත් කර ගැනීම අපගේ ඉලක්කයයි.
• ශ්‍රී ලංකා රජයේ ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3% ක්. ලෝකයේ වෙනත් රටවල් හා සසඳද්දී අපේ රාජ්‍ය ආදායම පවතින්නේ පහළම අගයක. මේ නිසා අප සැලසුම් කරන්නේ 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩි කර ගැනීමටයි.

• ආංශික බදු සහන නොමැතිව සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 30% දක්වා දැන් වැඩි කර තියෙනවා.
• වැට් බදු අනුපාතය 8% සිට 15% දක්වා වැඩි කිරීමට අප පියවර ගත්තා
• වැට් බදු සඳහා ලබා දී ඇති නිදහස් කිරීම් ක්‍රමාණුකූලව අඩු කිරීමට, වැට් බදු ආපසු ගෙවීම් කඩිනම් කිරීමට සහ එස් – වැට් ක්‍රමය අහෝසි කිරීමටත් පියවර ගන්නවා.
• 2025 දී, අවම බදු නිදහස් කිරීමක් සහිතව, දේපල බදු ක්‍රමය වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර ගන්නවා.

රාජ්‍ය වියදම් කළමනාකරණය
• විධිමත් වියදම් කළමනාකරණයක් ඔස්සේ රජයේ වියදම් සඳහා ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීමට පියවර ගන්නවා.
• උද්ධමනයට සරිලන පරිදි, වැටුප් සහ විශ්‍රාම වැටුම් ගැලපීමට අපේක්‍ෂා කරනවා. නමුත් මේ ගැළපීම් සිදුකරන්නේ ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුළයි.

රාජ්‍ය ව්‍යවසාය සහ බලශක්ති මිල
• ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරනවා. ඉන්ධන මිල තීරණය කරන්නේ 2018 මිල සූත්‍රය අනුව පමණයි.

• අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගෙන සෑම සය මසකට වරක්ම විදුලි මිල ගැලපීමට පියවර ගන්නවා.
• මහා පරිමානයෙන් පාඩු ලබන, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් සේවය, ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුල බල මණ්ඩලය වැනි ආයතනයන් හි ශේෂ පත්‍ර යළි සකස් කරනවා. කල් ඉක්ම වූ ස්වෛරීත්ව ඇපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කිරීමට කටයුතු කරනවා.
මිල ස්ථායීතාවය සහ මූල්‍ය ප්‍රතිපත්ති
• උද්ධමන අනුපාතය 4% 6% අතර අනුපාතයට නැවත ගෙන ඒමට කටයුතු කරනවා. මේ වන විට උද්ධමනය සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට අපට හැකි වුණා. එසේම 2023 වසර මැද භාගය වන විට උද්ධමන අනුපාතය තනි අගයක් දක්වා ගෙන ඒම අපේ ඉලක්කයයි.

• මේ සැලසුම් ක්‍රියාත්මක කරන කාලය තුළ දී මුදල් අච්චු ගැසීමෙන් ක්‍රමානුකූලව බැහැර වෙනවා. අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමෙන් තොරව ආදායම් උපදවා ගැනීමට මෙමගින් මහා භාණ්ඩාගාරයට සිදු වෙනවා .
• දැනට පවත්නා විදේශ විනිමය සීමා කිරීම් හා නියාමනය ක්‍රමයෙන් ඉවත් කරමින්, විදේශ විනිමය වෙළෙඳපොලේ කටයුතු වෙළෙඳපොළ නිර්ණායක මත තීරණය වීමට ඉඩ ලබා දෙනවා.
• තීරණය කරන ලද ඉලක්කයන්ට අනුව විදේශ සංචිත ගොඩනැගීම සඳහා විදේශ මුදල් මිලදී ගැනීම මහ බැංකුව විසින් සිදු කරනවා.
යහපාලනය
• දේශීය විශේෂඥයන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන අයිඑම්එෆ් සංවිධානය විසින් රාජ්‍ය දුර්වලතා පිළිබඳ වාර්තාවක් සකස් කරනවා. දුෂණය වැළැක්වීම සම්බන්ධයෙන් රජය හා ආයතනික රාමුව තුළ ඇති අඩුපාඩු හඳුනාගැනීමට මේ මගින් අවස්ථාව ලැබෙනවා.
• එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණය මැඩලීමේ නීති සම්පාදනය කෙරෙනවා.

• අහිමි වූ වත්කම් යළි ලබා ගැනීමේ ප්‍රතිපාදන 2024 මාර්තු වන විට ව්‍යවස්ථාදායක රාමුවට ඇතුළත් කිරීමට ද අපේක්ෂා කරනවා.

• ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පදනම් කරගනිමින් නව රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් කෙටුම්පත් කරනවා.

• සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාගත් පුද්ගලයන්, ආයෝජන මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබා ගන්නා ආයතන ලේඛනය ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරනවා. එසේම විශාල ප්‍රමාණයේ රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනවා.

වර්ධනය
• ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වැඩසටහනෙහි ප්‍රතිසංස්කරණ ඔස්සේ මධ්‍ය පරිමාණ හා දීර්ඝ කාලීන ආර්ථික වර්ධනය වැඩිදියුණු කිරීම ඇතුළත්. මෙහිදී වෙළෙඳ ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාමාර්ග, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ පියවරයන්, කුසලතා සංවර්ධනය, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මගින් අකාර්යක්ෂමතාවය හා පිරිවැය අඩු කර ගැනීමට ද පියවර ගන්නවා. කාලගුණ වෙනස් වීම මත සිදුවන වෙනස්කම් ද මෙහිදී සැලකිල්ලට ගැනෙනවා.

ඉදිරි ක්‍රියාමාර්ග
• අයිඑම්එෆ් සැලසුමට ඔබ්බෙන් යන බහුවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියේදී හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය විවෘත කිරීම සහ ඩිජිටල්කරණය කිරීම ඔස්සේ තිරසර ප්‍රතිජීවනයක් ලබා ගැනීමද, මධ්‍ය හා දීර්ඝ කාලීන ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීම ද එහි අරමුණක්.

• ඒ සමඟම අපේ ද්විපාර්ශවීය ණය හිමියන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. අප මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදයම ඔස්සේ ඉදිරියට යමින්, විවෘතව හා විනිවිද පෙනෙන අයුරින් ඔවුන් සමග සාකච්ඡා අප ඉදිරියට ගෙනයනවා.

• ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් ඇති කරගන්නා කොන්දේසි පිළිබඳ අවසන් තීරණ ගැනීමට පෙරාතුව, සියලු ද්විපාර්ශවීය ණය හිමියන්ට ඒ ගැන දැන ගැනීමට හැකි වන ආකාරයේ විවෘත ක්‍රමවේදයක් අප අනුගමනය කරනවා. අනෙකුත් විදේශීය ණය හිමියන් සම්බන්ධයෙන් ද අනුගමය කරන්නේ ඒ පිළිවෙතමයි. එහිදී සියළු ණය හිමියන්ට සාධරණ වන අයුරින් ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කිරීම අපේ බලාපොරොත්තුවයි.

• අපේ නිල ණය හිමියන් වෙත විවෘත ලිපියක් යවමින් මා දන්වා සිටි ආකාරයට, අප කිසිදු ණය හිමියෙකුට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඔවුන් සියලු දෙනාටම සමානව සලකනවා. අප මෙතක් ඔවුන් සියලු දෙනා සමඟ විවෘතය හා මිත්‍රශීලීව කටයුතු කළා. ඉදිරියටත් එසේම කටයුතු කරනවා.
• අපේ ණය ගැති භාවයන් පිළිබඳ වාර්තා නිරන්තරව ප්‍රකාශයට පත් කරනවා. රටේ ණය පිළිබඳ කිසිදු තොරතුරක් වසන් කරන්නේ නෑ.

ගරු කතානායකතුමනි,
අපි මේ ගෙවමින් සිටින්නේ දුෂ්කර කාලයක්, බදු බර නිසා සමාජයේ යම් කොටසකට දැඩි පීඩනයක් ඇති වී තියෙන බව අප දන්වනවා. ඒ වගේම උද්ධමනය හේතුවෙන් සමස්ත සමාජයම පීඩා විඳින බවත් අප දන්නවා. ඒත් දැනට අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලින් ඈත්වෙන්න මේ අවස්ථාවේ අපට හැකියාවක් නෑ. අප මුහුණ දෙන කටුක සත්‍යය එයයි.

අපේ මේ වැඩපිළිවෙළ මාස හයෙන් හයට සමාලෝචනය කරන්නට අපත්, අයිඑම්එෆ් සංවිධානයත් ක්‍රියා කරනවා. පළමු සමාලෝචනය සිදු කරන්නේ ලබන ජූනි මාසයේදී. දැනට ක්‍රියාත්මක කරන බදු ක්‍රමය සංශෝධනය කිරීම ගැන දැනටමත් අපේ අවධානය යොමු වෙලා තියෙනවා. මහා භාණ්ඩාගරය සංශෝධිත යෝජනා සකස් කරමින් යනවා. ඒ වගේම විවිධ විද්වතුන්, ආර්ථික විශේෂඥයන් මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් සියලුදෙනා සමඟ සාකච්ඡා කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඉන් පසු පොදු එකඟත්වයකට එළැඹෙන්නට අපට පුළුවන් වේවි.

ජූනි මාසයේ සමාලෝචනයේදී මේ බදු සංශෝධන අපේ සැලසුමට ඇතුළත් කරන්න අයිඑම්එෆ් සංවිධානය සමග අප සාකච්ඡා කරනවා. ඊට අමතරව කාලීනව අවශ්‍ය වෙනත් ප්‍රතිපත්තිමය සංශෝධන ගැනත් අප සාකච්ඡා කරනවා.
මේවා හැඟීම්වලින්, අරගලවලින් විසඳා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ ගැටළු විසඳා ගත යුත්තේ සීරුවෙන්, සැලකිල්ලෙන් හා බුද්ධියෙන්.

ගරු කතානායකතුමනි,
අපි මේ ගත කරන්නේ අමාරු කාලයක්. හැබැයි අපේ අමාරුකම්, දුෂ්කරතා තාවකාලිකයි. වර්තමාන වෙහෙසීමේ හා කැපවීමේ ප්‍රතිඵල අපට ටික කලකින් ලැබේවි. හෙට දවසේ රට බාර ගන්නා තරුණ තරුණියන් වෙනුවෙන්, අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අප මේ කැපවීම කළ යුතුයි.

අප මේ එකඟතාවයට අනුකූලව ඉදිරි වසර හතර පුරා නිසි මුල්‍ය විනයක් සහිතව, ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කළහොත්, රටේ අනගතය වෙනුවෙන් ශක්තිමත් ආර්ථික පදනමක් සැකසෙනවා. අප මේ මාර්ගයෙන් ඉවත් වුණොත් පසුගිය අප්‍රේල් මාසයේ තිබුණු තැනටත් වඩා අන්ත අයහපත් තත්වයකට මුළු රටම ඇද වැටෙනවා.

අයිඑම්එෆ් එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට අප්‍රේල් තුන්වැනි සතියේදී දින නියම කරන්න අප ක්‍රියා කරනවා. එහිදී ඔබේ අදහස් සමඟ සහයෝගයද ලබා දෙන ලෙස මේ ගරු සභාවේ සිටින ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම තවත් වැදගත් කරුණක් ගැන ඔබේ අවාධානය යොමු කරන්න කැමතියි. අයිඑම්එෆ් එකඟත්වය ඇති වූ පමණින් අපට සෑහීමකට පත් වෙන්න බෑ. මේ ගමනක අවසානය නෙවෙයි. තවත් දීර්ඝ ගමනක ආරම්භය තමයි මේ. දැන් අපි අපේ උත්සාහයෙන් ඒ ගමන යා යුතුයි.

අපේ ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කර ගත යුතුයි. ඒ සමඟම රටේ ආදායම් වැඩි කර ගත යුතුයි. දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතුයි. වැඩි වැඩියෙන් විදේශ ආදායම් ලබා ගැනීමේ මාර්ග නිර්මාණය කරගත යුතුයි. ලෝක වෙළඳපොලේ පමණක් නොව, අපේ කලාපීය වෙළඳපොලේ අපේ කොටස පුළුල් කරගත යුතුයි. දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව නොබියව ක්‍රියාත්මක කළ යුතුයි.

මේ සියල්ල ලේසි පහසු ඉලක්ක නෙවෙයි. නමුත් රට වෙනුවෙන් කැපවෙමින් අප මේ ගමන ඉදිරියට යා යුතුයි. මේක අසීරු ගමනක්. අපි ඒ අසීරු ගමන, සීරුවෙන් යමු. අපේ මූලික ඉලක්කය විය යුත්තේ රට ගොඩ නැංවීම පමණයි. පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් අපේ ඉලක්කය රට ගොඩ නැංවීම පමණයි. අන්න එහෙම හිතුවොත් අපට මේ ගමන වඩාත් කඩිනම් හා සාර්ථක එකක් කර ගන්නට පුළුවන්.

ගරු කතානායකතුමනි,

අයිඑම්එෆ් සංවිධානය සමඟ අප ඇති කරගත් සැලසුම වසර හතරකදී ක්‍රියාත්මක කර අවසන් කළ යුතුයි. නමුත් අපේ ශක්තිය හා අධිෂ්ඨානය මත එය වසර තුනක් හෝ තුනහමාරක් තුළ අවසන් කරගත හැකියි. අපි ඊට උත්සාහ දරමු. වෙහෙසෙමු.
මෙතැනදී අප විශේෂිත කරුණු කීපයක් ගැන වැඩි බරක් තැබිය යුතුයි. පළමුව, සමාජයේ පහළම ස්ථරයන්හි සිටින ජනතාව වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්‍ෂණ වැඩ පිළිවෙලක් සහතික කිරීම.

දෙවනුව, රුපියල ශක්තිමත් කරලීම සඳහා උපාය මාර්ග සහ විධිමත් සැලසුමක් ක්‍රියාවට නැංවීම.
තුන්වෙනුව, දූෂණය මැඩලීමේ නීති රීති වහාම සම්මත කොට ක්‍රියාවට නැංවීම. අපේ අධිකරණ ඇමතිතුමා මේ පිළිබඳ කෙටුම්පත ළඟදීම ඉදිරිපත් කරයි

සිව්වනුව, සමජයේ සිදුවිය යුතු වෙනත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා අවධානය යොමු කිරීම. ඒවා හඳුනා ගැනීම සහ ඒ ප්‍රතිසංස්කරණ සඳහා මුල පිරිම.

ගරු කතානායකතුමනි,
ඩී එස් සේනානායක අගමැති සමයේ අපේ රට කිසිදු විදේශණයක් ලබා ගත්තේ නෑ. පසුව අපේ රටේ ආදායමෙන් වැඩ කටයුතු කරනවා වෙනුවට, පිටරටින් ණය ගෙන රට කරවීමේ සම්ප්‍රදායක් ඇති වුණා. අප සියලූ දෙනා අද මේ දුකට, පීඩාවට පත්ව සිටින්නේ ඒ සම්ප්‍රදාය පිලිකාවක් බවට පත්වූ නිසයි.

අපට හැමදාමත් ණය ගන්න බෑ. අප උත්සාහ ගත යුත්තේ ණය නොගන්නා ජාතියක් බවට පත්වීමටයි. මේ අසීරු සමයෙන් ගොඩ එන්නට අප සියලු දෙනා එක්විය යුත්තේ ඒ නිසයි. ඉදිරි අවුරුදු 10 තුළ අප මෙතෙක් ගෙන ඇති සියළු ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ මාර්ගයේ නිවැරදිව ඉදිරියට ගියොත් අපට ඒ තත්වය උදා කරගන්නට පුළුවන් බව මට විශ්වාසයි.

ඒ ණය ගෙවීමෙන් අනතුරුව රටේ වියදමට සරිලන ආදායම අපිටම උපදවා ගන්නට පුළුවන් ශක්තියක් අප ඇතිකර ගත යුතුයි. උත්සාහ ගත්තොත්, වෙහෙසුණොත් අපට එය කරන්නට පුළුවන්. ඒ මාර්ගයේ ගියොත් නිදහසින් වසර 100 ක් පිරෙන 2048 දී අපේ රටේ ලෝකයේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරගන්නට අපට පුළුවන්.
මෙහිදී තවත් කරුණක් ඔබේ අවධානයට යොමු කරන්නට මම කැමතියි. මෑතකදි එක් මතයක් ප්‍රකාශයට පත්වුණා. ථෙරවාදී බෞද්ධ රටවල් හැම විටම ආර්ථික අතින් දුප්පත් කියලා.

දැන් තායිලන්තය මේ මතය බිඳ දමන්නට වෙහෙසෙනවා. ලෝකයේම ථෙරවාදී කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන අපිත් ඒ මතය බිඳ දමන්නට වෙහෙසිය යුතුයි. අප සියළු දෙනාම එක මවකගේ දරුවන් ලෙස, එක හිතින් වෙහෙස වූවොත් ඒ මතය බිඳ දමන්නට අපට පුළුවන්. ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කීර්තියට පත් කරන්නට අපට පුළුවන්.

ගරු කතානායකතුමනි.
මම මුලින්ම අගමැතිවරයා ලෙස පත් වූ අවස්ථාවේ රටේ ආර්ථිකය යළි ගොඩ නැංවීමේ ව්‍යායාමයට විපක්‍ෂයේ සහාය ඉල්ලා සිටියා. නමුත් මට ඒ සහාය ලැබුණේ නෑ. ඉන් පසුව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. නමුත් දුන්නේ නෑ. අයවැය විවාදය අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. සහාය ලබා දුන්නේ නෑ. වර්තමාන පාර්ලිමේන්තුසැසිවාරය විවෘත කරන අවස්ථාවේදීත් මම විපක්ෂයේ සහාය ඉල්ලා සිටියා. ඒත් මට කිසිදු සහයෝගයක් ලබා දුන්නේ නෑ.

ඒ ඒ අවස්ථාවල විවිධ හේතු කියමින් ඔවුන් සහාය ලබා දීම ප්‍රතික්‍ෂේප කළා. මගේ පත්වීම ව්‍යවස්ථාවට විරුද්ධයි කිව්වා. ජාතික ලැයිස්තුවෙන් අගමැතිවරු පත් කරන්න බෑ කිව්වා.

මගේ අරමුණ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම නෙවෙයි, රාජපක්‍ෂලා බේරා ගැනීම කියලා කිව්වා. අසීරු වැල් පාලමෙන් මම එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නෙවෙයි, නාමල් රාප්පක්‍ෂ කියලා කිව්වා.
නමුත් ශ්‍රී ලංකා මාතාව අර්ථික වැල් පාලමෙන් එගොඩ කරන්නට මම ක්‍රියා කළ බව දැන් ජාත්‍යන්තරයම පිළිගෙන තියෙනවා. විපක්ෂයේ චෝදනා සත්‍ය නොවන බව දැන් සනාථ වෙලා තියෙනවා.

විපක්ෂයේ චෝදනා වලට මම උත්තර දෙන්න යන්නේ නෑ අතීතය විවේචනය කිරීම මගේ කාර්යය නෙවෙයි. මගේ කාර්යය අනාගතය ගොඩ නැංවීමයි. අතීත වැරදි යළි සිදු නොවන අන්දමට නීති රීති සහ පසුබිම සකසමින් අනාගතය ගොඩ නැංවීමට මම වෙහෙසෙනවා. කැපවෙනවා. ක්‍රියා කරනවා.

අදත් මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් මේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට එක් වෙන්න කියායි. මම ඔබතුමන්ලා සමඟ වාද කරන්න ගියේ නැහැ.මම ගැන කි දේවල් ගැන පිළිතුරු දෙන්න ගියෙත් නැහැ. ඒ මට විපක්ෂයේ සහයෝගය වුවමනා නිසා. ඔබේ දේශපාලන මති මතාන්තර පැත්තකින් තියන්න. තමන්ගේ බලය ගැන හිතන්න කලින් රට බලවත් කිරීම ගැන හිතන්න. අනෙක් දේශපාලන මතිමතාන්තර වලදී සාම්ප්‍රදායික ලෙස කටයුතු කරන්න. ඒත් රටේ ආර්ථිකය නංවාලීමේ ව්‍යායාමයේදී සම්මත දේශපාලන රාමුවෙන් එළියට එන්න. ආර්ථිකය නංවාලීමේ මේ වෑයමට සහය වෙන්න. අනිත් හැම කරුණකදීම අපට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් මේ කාරණයේ දී අපි සියලුදෙනා එකතුවෙලා වැඩ කළයුතුයි.

මම නැවතත් ඒ ඉල්ලීම කරනවා. රටේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා අයිඑම්එෆ් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට කරුණාකර ඔබේ සහය දැන්වත් ලබා දෙන්න. මේ මල්වට්ටියට අපි හැමෝම අතගසමු.

ජනාධිපති මාධ්‍ය අංශය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk