Connect with us

Local

බැංකු වල මුදල් දැමූ අය දැඩි අපහසුතාවයට..

Published

on

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දළ මූල්‍යමය අවශ්‍යතාවය 13%ට ගේන්න නම් මේ දේශීය ණය අනිවාර්යයෙන්ම යම් ආකාරයකට කපා හරින්න වෙනවා. ඒක බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ අනුව ආණ්ඩුවට ක්‍රම හැටියට තියෙන්නේ මොකක්ද? මේවා කල් ඉකුත් වන දිනය දශක ගාණකින් එහාට දැමීම විතරයි තියෙන්නේ. ඒ අනුව EPF, ETF දාරීන්ට, ඒ වගේම බැංකු වල තැන්පතුකරුවන්ට ඉතාම අපහසුතාවයට පත්වෙන්න තියෙනවා. ඒ නිසා මේක රතිඤ්ඤා දාලා, මේක ගෞරවනීය අවස්ථාවක් හැටියට සලකන්න බැහැ’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පසුගියදා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබාදෙන ණය මුදල සම්බන්ධයෙන් වන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“අද අපි හැමෝම අහවල් කාලේ ගත්ත ණය නිසා තමයි මේ අර්බුදය ඇතිවුණේ. අහවල් කාලයේ ඇතිවෙච්ච ණය නිසා තමයි මේ අර්බුදය ඇතිවුණේ කියලා එකිනෙකාට චෝදනා කර ගැනීමක් තමයි මේ කරගෙන යන්නේ. 1998 දි අපි පහළ ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් රටක් දක්වා ඉහළට එස වුණා. ඒ නිසා දුප්පත් රටවලට ලැබෙන ණය ආධාර අපට ලබා ගන්න බැරි වුණා. එදා තමයි ආචාර්ය පී. බී. ජයසුන්දර රටේ අයවැය හිඟය පියවීම සඳහා ප්‍රථම වතාවට මේ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර, බැඳුම්කර හඳුන්වා දුන්නේ. ඉන් පස්සේ අපිට ආධාර ලබා ගැනීම සඳහා විවිධ ද්වී පාර්ශ්වික රටවල් වල අඩුවක් තිබුන් නෑ. ජපානෙන්, චීනෙන් නමුත් අපි හදිසි තත්ත්වයන් යටතේ ඉතා විශාල වශයෙන් මේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ලබා ගැනීමේ අර්බුදය තමයි මේ තියෙන්නේ.”

මේ ණය ගෙවීම් අර්බුදය හොඳින්ම දැන සිටි මහින්ද රාජපක්ෂ මහතා අවුරුද්දක කාලයක් ඉතිරිව තිබියදී 2015 දී ජනාධිපතිවරණයක් කරා ගියේය. බොහෝදෙනා මේ අර්බුදය තමන් කළින් ප්‍රකාශ කළ බව කියා සිටිය ද, ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කැබිනට් මණ්ඩලය වෙත ප්‍රකාශ කළේ තමන් බව රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

“මම තමයි එදා නිල වශයෙන් කැබිනට් මණ්ඩලයට 2016 මාර්තු මාසෙදි ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරලා ශ්‍රී ලංකාව 2023 වෙනකොට බංකොලොත් වෙන්න යනවා. ඒ නිසා මේ පිළිබඳ නිසි ඇගයීමක් කරන්න කියලා ඉල්ලීමක් කළේ. ඒ අනුව සහ තවත් දත්ත පද්ධතිය අනුව ඒ රජය ක්‍රියාත්මක වුණා. ඒ ගැන මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ වගේම විශේෂයෙන්ම ආචාර්ය සරත් අමුණුගමට ස්තූතිවන්ත වෙනවා. අපිව ඒ අවස්ථාවේ බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එදා අපිට යන්න සිද්ධ වුණා ජාත්‍යන්තර අරමුදල ඉදිරියට. 2017 ජූනිවල සිට 2020 ජූනි දක්වා ඒ ව්‍යාපෘතිය තිබුණා. ඒකෙන් තමයි අපි බංකොලොත්භාවය මුදාගෙන, සාමාන්‍ය තත්ත්වයෙන් රට අරගෙන ගියේ, විවිධ ගැටුම් මැද්දේ..”

2019 බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය සහ එහි සිටි උපදේශකයන් මූල්‍ය අරමුදලට පයින් ගැසීමට තීරණය කළේය. අද වීර කාව්‍ය, දේශමාමක කාව්‍ය කියන සියළු දෙනා එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ගැලවී මේ රට ස්වෛරීව ඉදිරියට යන කතාව උඩ දැමූ බව ද රණවක මහතා මතක් කළේය. 2020 මාර්තු මස මුල් සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුවට නිල වශයෙන් දැනුම් දෙන්නේ ශ්‍රී ලංකාවේ ණය අස්ථාවරභාවය සම්බන්ධයෙනුයි. එසේ නැත්නම් ‘ඔබ බංකොලොත් වෙන්න යන්නේ’ යන පණිවුඩයයි.

“අද හුඟක් දෙනෙක් කියනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු ලැබිලත් ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ජනාධිපති, ඒ ආරක්ෂක ඇමති, ඒ ආරක්ෂක ලේකම්ලා, පොලිස්පතිලා ඒ සම්බන්ධයෙන් වග කියන්න ඕනෙයි කියලා. එහෙම නම්, ලෝකයේ ණය ස්ථාවරත්වය පිළිබඳ තියෙන ආයතනය එලවන ලද ඒ ලිපියට මොකද වුණේ? ඇයි ඒ පිළිබඳ වගකිවයුතු නිලධාරීන් ක්‍රියා නොකළේ කියන ගැටලුව එනවා. ඒ අපරාධය නිදහසෙන් පස්සේ රටේ සිද්ධ වෙච්ච විශාලතම ආර්ථික අපරාධය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලිපිය නොතකා හැරලා ව්‍යාජ දේශමාමකත්වයෙන් ඉදිරියට යෑම. මෙවැනිම ලිපියක් මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය අර විදිහටම නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ගෝඨාභය රාජපක්ෂ වගේ බදු ඉවත් කළා. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට වගේ හොරෙන් ලියුම් එව්වේ නෑ. විවෘතවම ලියුම් ඇරියා. මහා බ්‍රිතාන්‍ය ඉතාම අර්බුදයක ඉන්නේ කියලා. දින කීපයක් ඇතුලත ඒ රජය පෙරලුනා. අලුත් රජයක් ආවා. ඒ අලුත් රජයට සිද්ධ වුණා පරණ බදු ගෙනල්ලා දැන් යන්තම් ඒ අර්බුදයෙන් ගැලවිලා ඉදිරියට යන්න. මූල්‍ය අරමුදල එදා විවෘතව ඕක ප්‍රකාශ කළා නම් මං හිතන්නේ මේ රට මේ අර්බුදයට යන්නෙ නෑ.”

අද ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය මූල්‍ය අරමුදලට භාර දී තිබේ. මූල්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ඉලක්කගත ක්‍රියාවලියකට අපේ ආර්ථික ස්වෛරීත්වය මූල්‍ය අරමුදලට භාර දී තිබෙන බව ද රණවක මහතා පෙන්වා දෙයි.

“ඒ තත්ත්වයට රට වැටුණේ තත්වයට රටේ ස්වෛරීත්වය බාල්දු වුණේ ඉතාමත්ම හිතුවක්කාරී, දඩබ්බර ආකාරයට ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒ නිසා එහි වගකීම, පාස්කු ප්‍රහාරයට වඩා දහස් ගුණයක් වැඩියි. ඒ වගකීම ඔවුන් භාරගත යුතු වෙනවා. දැන්, මේ පිටු එකසිය පනස් ගානක වාර්තාවේ, පැහැදිලි නිශ්චිත ඉලක්ක රජයට ලබාදීලා තියෙනවා. කාලයත් එක්ක ගැට ගැහුණු ඉලක්ක. මෙහිදී ප්‍රධාන වශයෙන් අපගේ ප්‍රාථමික ශේෂය, ඒ කියන්නේ අපේ ආණ්ඩුවේ එදිනෙදා ආදායම්, එදිනෙදා වියදම්, ප්‍රාග්ධන වියදම් එක්ක, ණය ගෙවීම් හා පොලී හැර. ඒ ප්‍රාථමික ශේෂය, අපට සිද්ධ වෙනවා 2025 වෙනකොට ධන අගයකට ගෙන එන්න. දළ දේශීය නිෂ්පාදනයෙන් 2.3 ක ධන අගයකට ගෙන එන්න. 1954න් පසු ප්‍රාථමික ශේෂය ධන වුණේ 2018 දී පමණයි. දැන් මේක අපිට එල්ල වෙලා තියෙන නියෝගයක්. ඒ අනුව, අපේ ආදායම් අපි වැඩි කරගන්න වෙනවා. අපේ වියදම් අපට පාලනය කරන්න වෙනවා. අපේ ආදායම 2026 වෙද්දී දළ ජාතික නිෂ්පාදනයෙන් 15.3කට අපිට වැඩි කරගන්න වෙනවා. 2019 12% ක තිබූ අපේ ආදායම, 8% ට වැට්ටුවේ ඒ නව ලිබරල් ප්‍රතිපත්තිය අනුගමනය කරපු පිරිස විසින් තමයි ඒ අර්බුදය ඇති කළේ. එතනින් තමයි මේ අර්බුදය පටන් ගත්තේ. ඒ අපිව පහළට රේටිං ආයතන දාන්න පටන් ගත්තේ.
අපේ වියදම 19.4 ට ගන්න කියලා තියෙනවා 2026 වෙනකොට දළ දේශීය නිෂ්පාදනය. මේ එක ඉලක්කයක්. ඉතාම අපහසු ඉලක්කයක්.

ඊළඟට දළ දේශීය නිෂ්පාදනයට අපේ ණය බර දරන සමස්ත ණය බර දරණ අනුපාතය 2028 වෙනකොට 96% කරගන්න කියලා තියෙනවා. මේකත් ඉතාම අසීරු ඉලක්කයක්. ඒ වගේම අසීරුතම ඉලක්කය තමයි මේ දළ මූල්‍යමය අවශ්‍යතාවය සම්බන්ධයෙන් දීලා තියෙන නියාමනය. ඉලක්කය කීයද? දළ දේශීය නිෂ්පාදනයෙන් 13% යි. ගිය අවුරුද්දේ කීයද? ගිය අවුරුද්දේ මේක 32% යි දළ දේශීය නිෂ්පාදනයෙන්. කොහොමද ඒ දළ මූල්‍යමය අවශ්‍යතාවය සැකසිලා තියෙන්නේ. දැන් මේ 32% – 13% බවට පත්කිරීමට මොනතරම් අභියෝගයක් තියෙනවද? ඒ අනුව ඉලක්ක දීලා තියෙනවා. 2024 දි 17.9 කරන්න. 2026 දි 15.9 කරන්න. ඊට පස්සෙ 13 කරන්න. මොකක්ද මේ දළ දේශීය මූල්‍යමය අවශ්‍යතාවය දළ දේශීය නිෂ්පාදනයෙන් 13% කිරීම පිටිපස්සෙ තියෙන බරපතල කාරණය. ඒ කාරණය තමයි ඉතාම පැහැදිලිව මෙතෙක් කල් රජය අපිට කිව්වේ දේශීය ණය, දේශීය ණය තියෙනවා ට්‍රිලියන 12.3 ක්. පසුගිය වසරේ අපි නොගෙවපු ණයත් එක්ක තව ඩොලර් බිලියන තුනක ණය අපිට එකතු වෙලා තියෙනවා. එතකොට මේ ට්‍රිලියන 12.3 ක දේශීය ණය ගැන මොකද කිව්වේ? මොනවද ඒ මූලයන්? ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන්, භාණ්ඩාගාර බිල්පත්වල, භාණ්ඩාගාර බැඳුම්කරවල. ඒ වගේම අපගේ විශේෂයෙන්ම අපේ වැඩ කරන ජනතාවගේ, 26 ලක්ෂයක් ගිණුම්. ඒ වගේම අතීතයේ සේවය කරපු වැඩ කරන ජනතාවගේ 80 ලක්ෂයක් ගිණුම්. තිබෙන, අපගේ සේවක අරමුදල් දෙක EPF, ETFවල සල්ලි. එතකොට අපේ පුද්ගලික මිනිස්සු රුපියල් වලින් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර අරගෙන එතන ඔවුන් ලගා කරලා තියෙන ඒ අනතුරුදායක ආයෝජනය. මේ ඔක්කොම තමයි මේ රුපියල් ට්‍රිලියන 12.3 ක තියෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දළ මූල්‍යමය අවශ්‍යතාවය 13%ට ගේන්න නම් මේ දේශීය ණය අනිවාර්යයෙන්ම යම් ආකාරයකට කපා හරින්න වෙනවා. ඒක බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ අනුව ආණ්ඩුවට ක්‍රම හැටියට තියෙන්නේ මොකක්ද? මේවා කල් ඉකුත් වන දිනය දශක ගාණකින් එහාට දැමීම විතරයි තියෙන්නේ. ඒ අනුව EPF, ETF දාරීන්ට, ඒ වගේම බැංකු වල තැන්පතුකරුවන්ට ඉතාම අපහසුතාවයට පත්වෙන්න තියෙනවා. ඒ නිසා මේක රතිඤ්ඤා දාලා, මේක ගෞරවනීය අවස්ථාවක් හැටියට සලකන්න බැහැ. නමුත්, තත්ත්වයේ හැටියට මේ මූල්‍ය අරමුදලේ ලැබිච්ච ඇපකරය ඩොලර් මිලියන 330 නෙමෙයි ලැබිච්ච ඇපකරය අපට හුස්ම ගැනීමට අලුතෙන් ගමනක් යාමට ඉඩකඩ සකසන දෙයක්. ඒ නිසා මේකට පහර දෙනවා නම් කවුරුහරි ඒ අය ඇත්ත වශයෙන්ම මේ රටේ විරුද්ධකාරයෝ. මේක ඇත්ත වශයෙන්ම මෙතනින් ඔබ්බට ගෙනියාමයි තියෙන්නේ. ඒ අනුව ඉදිරි කාලයේදී අපිට සිද්ධ වෙන ලොකුම දේ තමයි ඊළඟ හය මාසෙදි විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒකටත් සීමාවක් පනවලා තියෙනවා.

ඊළඟට එන ප්‍රශ්ණය මොකක්ද? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට ඇතුල්වීම. ඒ නිසා අප ඉදිරියේ තියෙන අභියෝග ඉතාම වැඩියි. මම නිතරම කිව්වේ මහගිරි දඹ නගින්න දැනුයි පටන් අරන් තියෙන්නේ. මේ තාක් කල් අපි ආවේ දුෂ්කර ගමනක. මේ තත්ත්වයෙන් රට ගලවා ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක් මිසක් මේ පාක්ෂික ප්‍රයත්නයකට මේක සිදු කරන්න බෑ. ඒ වගේම ඒ අතරතුරේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, දූෂණයට වැට බැඳීමත්, ඒ වගේම රටේ අනාගතය සඳහා අපේ වැඩ කරන ජනතාව ප්‍රමුඛ විශේෂයෙන්ම තරුණ පරපුරේ විශ්වාසය මේ ක්‍රියාමාර්ගයට ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රතිසංස්කරණ අසාර්ථක වෙලා ග්‍රීසිය, ආජන්ටිනාව වගේ (අයි එම් එෆ් එකට පොලු තිබ්බා) තත්ත්වයකට පරිවර්තනය නොවී අපට මේ ගමන් මග යා යුතුයි.”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

Local

අලුතෙන් ආනයනයේදී වාහනයකට බද්ද ලක්‍ෂ 120ක්..

Published

on

By

දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක් අවශ්‍ය බැවින් එම විමර්ශනය මුදල් අමාත්‍යාංශයට භාරදුන් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එමෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව විදේශයේ වැඩ කරන පුද්ගලයන්ට මුදල් ප්‍රේෂණය කිරීමේදී ගැටලු රාශියක් පවතින බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

‘සංචාරක ක්ෂේත්‍රයේ වාහන අවශ්‍යතාවක් තිබෙනවා. වාහන තහනමක් තිබෙන නිසා විශේෂ ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ හරහා වාහන දාහක් ගෙන්න ගන්න අනුමැතිය දීලා තියෙනවා. කුඩා කෝච් සහ බස් රථ 250ක්, වෑන් රථ 750ක් මෙයට ඇතුළත්. ඒකට නිසි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. Brand new වාහන වලට මේ අවසරය දී තිබෙන්නේ. අපේ කාරක සභාව ඒක අනුමත කරා.

ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධව පිටරට වැඩ කරන පුද්ගලයන් මුදල් ප්‍රේෂණය කරන්න ගියාම ඒ කෙ ගැටලු ඇවිල්ලා තිබුණා. මේකේ Under invoice වෙලා තියෙනවද, හරියට ටැක්ස් ගෙවලා තියෙනවද, කොහොමද ආයතන දෙකකට විතරක් සීමා වෙන්නේ, මේ වාහන 68% ක් කොහොමද ආයතන දෙකකින් ගෙන්නුවේ. ඇයි මේකට Online system එකක් නැත්තෙ කියලා ගැටලු රාශියක් ආවා. අපේ කාරක සභාව හැටියට joint committee එකක් පත් කළා මේ ගැන හොයන්න. ඒකට මුදල් අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, මහ බැංකුව, ආගමන විගමන, රේගු යන ආයතන එකතු කර ගත්තා. ඔවුන් අපිට වාර්තාවක් දුන්නා. ඒකෙ තියෙනවා යම් යම් අවභාවිතාවන් තිබෙන බව.

මේ පිළිබඳ දැඩි විමර්ශනයක් කරන්න කියලා තිබෙනවා. ස්කීම් එක හරහා වාහන ගේන්න බැහැ. නමුත් ගේන්න අනුමැතිය දුන් වාහන වලටත් luxury tax එක රුපියල් මිලියන 6 -12 දක්වා වැඩි කරලා තියනවා. නැවත මේක ගැන සොයා බලන්නට මුදල් අමාත්‍යාංශයට අපි භාරදීලා තිබෙනවා. මේ ගැන විමර්ශනයක් බලාපොරොත්තු වෙනවා.”

– Mawbima

Continue Reading

Local

ස්ථානාධිපතිවරුන්ගේ සේවයෙන් ඉවත් කළ ලිපි මුද්‍රණයට..

Published

on

By

වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රට පුරා දුම්රිය ධාවනය අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපතිවරු, පාලකයන් හා දුම්රිය උපස්ථානාධිපතිවරු මේ වන විට වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටී.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින දුම්රිය වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට එම වෘත්තිය සංගම් තීරණය කර ඇත.

එහිදී වර්ජනය සඳහා අනෙකුත් වෘත්තීය සමිතිවලද සහාය ලබා ගැනීම ද සාකච්ඡා කෙරේ.

Continue Reading

Local

තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

Published

on

By

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ 61 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Continue Reading

Trending

Copyright © www.pattare.lk