Education
ලොව අංක එකේ ෆින්ලන්ත අධ්‍යාපනය මෙරටටත්.. STEM අරඹයි..
Published
6 months agoon
By
admin
සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන් ම ඉන් බාහිර ව ද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ පාසල් දරුවන්ට මාර්තු 31 වන දා සිට ලබා දීමට අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය ඔස්සේ තමන් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ස්ටීම් අධ්‍යාපනය මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ ලොව පුරා රටවල් 96ක පමණ භාවිත වන ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් වශයෙන් අධ්‍යාපනඥයන්ගේ ඉහළ අවධානයට යොමු වී ඇති බවත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය හතර මූලික කරගෙන ස්ටෙම් නමින් (STEM- Science, Technology, Engineering, Mathematics) ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම විසින් 1999 වසරේ දී එරටට හඳුන්වා දුන් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය අද වන විට සංවර්ධනය වී කලා විෂයන් ද ඇතුළත් ව ස්ටීම් අධ්‍යාපනය නමින් (STEM- Science, Technology, Engineering, Arts, Mathematics) ලොව පුරා ප්‍රචලිත ව ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.
ලොව අංක එකේ අධ්‍යාපන ක්‍රමය පවතින ෆින්ලන්තයේ පවතින්නේ ද මෙම ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය බවත් අප රට තව මත් ඊට අනුගත ව නැති නිසා එම අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වය මැන බැලීමට 15 වයස් සීමාවේ පසු වන දරුවන්ට වාර්ෂික ව පවත්වන පීසා නම් වූ ජාත්‍යන්තර තක්සේරුකරණ පරීක්ෂණය (PISA- Program for International Students Assessments) සඳහා පෙනී සිටීමට මෙරට දරුවන්ට අවස්ථාව නොලැබෙන බවත් පැවසූ අමාත්‍යවරයා ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ටීම් අධ්‍යාපනය වසර 20ක් ක්‍රියාත්මක වීමෙන් පසු ව එරට ජාතික ආදායමෙන් 62%ක් නියෝජනය කරන්නේ ද ස්ටෙම්-ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලියෙන් බිහි වූ නවෝත්පාදකයන් ඇතුළු නිර්මාණශීලී පුරවැසියන් බවත් මෙහි දී සඳහන් කළේ ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ තොරතුරු පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පන්ති කාමරයට සීමා නොකර කෞතුකාගාර, මින් මැදුරු වැනි විවිධ ස්ථාන හා පරිසරය සමග මුසු වී ප්‍රායෝගික නිරීක්ෂණ සහ අද්දැකීම් ලැබීමට අපේ දරුවන්ට ද අවස්ථාව සලසා දිය යුතු බවත් ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් බිහි කර පාසල් දරුවන්ට පැමිණ භාවිත කිරීමට අවකාශ සලසමින් නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි නැගී එන විෂයන් පාසල් දරුවන්ට ද විවර කළ යුතු බවත් නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය තුළ මොඩ්‍යුලර් භාවිතය ඊට මනා රුකුලක් වන බවත් ප්‍රකාශ කළේ ය.
දක්ෂ ගුරුවරුන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ මානව සම්පතක් අප සතු නිසා මෙම අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම එතරම් අපහසු නොවන බවත් දරුවන්ගේ ම අදහසක් වූ ‘ස්ටීම් පාසලෙන් දකිමු – වැඩ කරමු – අනාගතයට පිය නගමු’ තේමාව ඔවුන් ජයගන්නා ආකාරය අපට දැකගත හැකි වනු ඇති බවත් කී අමාත්‍යවරයා ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම, විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල පද්ධතිය සහ පුහුණු ආයතන සමග සහසම්බන්ධ ව පළමු වතාවට මෙරට ක්‍රියාත්මක කරනු ලබන මෙම ස්ටීම් අධ්‍යාපන වැඩසටහන මගින් උසස් අධ්‍යාපනය හා සාමාන්‍ය අධ්‍යාපනය අතර ඇති පරතරය අවම කෙරෙනු ඇතැයි ද එමගින් 21 වෙනි සියවසේ අභියෝග ජයගත හැකි තාර්කික චින්තනයෙන් හෙබි දරුවන් පිරිසක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත් පැවසී ය. එසේ නොවුණහොත් දැනට ද ක්‍රියාත්මක ‘පන්ති කාමරයට උපකාරක පන්තියට ගොස් දේශන අසා පාඩම් කර මතක තබාගෙන විභාගෙට ලියන’ යල් පැනගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයෙන් ගැලවීමට නොහැකි වනු ඇතැයි ද හෙතෙම පැවසී ය.
පෙළපොත් වැනි භෞතික සම්පත් සිසුන්ට නිසි කලට ලබා දී මෙම ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ සාර්ථක ව ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා කොළඹ නවරඟහලේ දී මාර්තු 31 වන දා එහි සමාරම්භක වැඩසටහන පැවැත්වෙන බවත් ප්‍රකාශ කළේ ය.
මාධ්‍ය ඒකකය
You may like
Business
ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය…
Published
1 month agoon
August 10, 2023
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (09) දින එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසන ලදී.
එහිදී වැඩබලන සභාපතිවරයා පාර්ලිමේන්තුවට විශේෂයෙන් අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා වූ ණය සීමාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පමණක් යොදාගනු ලබන බවත් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදු නොකරන බවටත් මුදල් අමාත්‍යංශය ලබාදුන් පොරොන්දුව මත අදාළ අනුමැතිය ලබාදුන් බවයි.
මෙහිදී පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්…
“2022 අංක 43 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතෙහි අදාළ සංශෝධනය 2023.08.08 වෙනි දින පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අවධානයට යොමු විය. ඒ අනුව 2022 අංක 43 දරණ විසර්ජන පනතේ දෙවැනි වගන්තියේ පළවෙනි උප වගන්තියේ ආ ඡේදයේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9,000 නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා පනතේ දෙක, හතර උප වගන්තිය හා දෙවන උප ලේඛනය සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රුපියල් බිලියන 4,222.23 සිට රුපියල් බිලියන 13,202.23 දක්වා වූ වියදම් සීමාව වැඩි කිරීම සිදුවේ. සංශෝධන බලපෑම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට අදාළ වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදුකරන තාක්ෂණික ක්‍රියාවලියක් වන නිසා නාමික වශයෙන් පමණක් මෙම ණය ගැනීමේ සීමාව සහ ණය ආපසු ගෙවීමේ ප්‍රතිපාදන වැඩිවේ.
සමාජයේ මතයක් ඇති වුණා බිලියන 9,000 පමණ අතිරේක ණය ගැනීමක් යෝජනා කරලා තියෙනවයි කියලා. ඒ පිළිබඳ අපි ඊයේ මුදල් අමාත්‍යංශයෙන් විමසීමක් කළා. මුදල් අමාත්‍යංශය පොරොන්දු වුණා කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් සිදුකරන්නේ නෑ කියලා. එමගින් සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බිල්පත් බැදුම්කර වීම නිසාත් ඒ වගේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සඳහා පමණක්(ගණකාධිකරණ ක්‍රියාවලියක් සඳහා පමණක්) මෙය සිදුකරන බවයි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයෙන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශ්‍රාම අරමුදල තෝරා ගන්නා ලද අංශ කිහිපයක පමණක් අඩංගු 2032 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 6,000 ද, විදේශීය ණයට අදාළ භාණ්ඩාගාර, බැඳුම්කර රුපියල් බිලියන 3,000 වටිනාකමකින් යුත් ණය ප්‍රමාණය එකතු වූ රුපියල් 9,000 ණය ප්‍රමාණය දිගුකාලීනව ආපසු කියවෙන ණය බවට පත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම පමණක් මෙහිදී සිදුවන නිසා, රාජ්‍ය වැය ශීර්ෂයන්හි සිදුවන නාමික වෙනස්කමක් පමණක් මෙහිදී සිදුවේ. 2032 පසු සිදුවෙන ණය ගනුදෙනු පිළිබඳව මෙමගින් ප්‍රකාශ නොකරන බවද මෙහිදී දැනුම් දීමට කැමති.” යනුවෙන් පැවසීය.
Education
ආවේණික විශාලත ම හා ඉතා ම දුර්ලභ පඬු කරඳ ශාකය නීති විරෝධී ව සම්පූර්ණයෙන්ම විනාශ කළ අය වහා ම අත් අඩංගුවට ගත යුතුයි…..
Published
2 months agoon
July 11, 2023
පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සදහන් කරයි.
එහි කැදවුම්කරු සජීව චාමිකර මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත ම හා ඉතා ම දුර්ලභ පඬු කරඳ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිත කර නීති විරෝධී ව සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති පළමු කොටසට අයත් වන භූමියක පිහිටි මෙම ශාකය ක්‍රමවත් ව සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකර අනීතික ව හා බලහත්කාරය භාවිත කර මෙසේ විනාශ කර දමා තිබේ. මෙම ශාකය කපා ඉවත් කර, මුල් කොටස් ගලවා ඉවත් කිරීම හා වලවල් හාරා ශාකයේ කොටස් වල දමා පස් ඇතිරීම ඇතුළු සියලු ක්‍රියා ඉතා ම සංවිධානාත්මක ව සිදු කර ඇති අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ පරිසර හා සමාජ සංවර්ධන අංශය මගින් නිසි ක්‍රමවේදයකට යටත් ව මෙම ශාකය සංරක්ෂණය කිරීම හා අධිවේගී මාර්ග සංවර්ධනය තුළිත ව ක්‍රියාත්මක කර තිරසර සංවර්ධන උපායමාර්ගවලට පිවිසීමේ හැකියාව තිබිය දී ඒ සඳහා අතිරික්ත වැයක් දැරීමට සිදු වන බව සඳහන් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ශාකය බලහත්කාරයෙන් විනාශ කිරීමට ක්‍රියාමාර්ග ගැනීමෙන් සිදු කර ඇත්තේ වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි.
නමුත් දකුණු අධිවේගී මාර්ගය සකස් කිරීමේ දී ව්‍යාපෘති සැලැසුමේ බෙලිඅත්ත හා කසාගල හුවමාරු අතර බැදිගම නමින් හුවමාරුවක් නොතිබුණ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැදමුලන නිවසට පහසුවෙන් පිවිසීමට බැදිගම හුවමාරුව නමින් අලුතින් හුවමාරුවක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී සකස් කළ නිලධාරීන්ට පඬු කරඳ ශාකය ආරක්ෂා කිරීම සඳහා සැලැසුම් සකස් කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.
ෆැබේසියේ (Fabaceae) කුලයට අයත් පඬු කරඳ ශාකය ඉංග්‍රිසියෙන් Sri Lanka Legume ලෙසත් විද්‍යාත්මක ව Crudia zelanica ලෙසත් හැඳින් වේ. මෙම ශාකය විද්‍යාත්මක ව නාමකරණය කිරීමෙන් අනතුරු ව 1911 වසරෙන් පසු මෙරටින් වාර්තා වූ බවට විද්‍යාත්මක සාධක නොතිබුණි. නමුත් 2019 වසරේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ග්‍රාම නිලධාරී වසමට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයට යටත් වන එච්. අයි. එම්. ඒ. මුණසිංහ මහතාට අයත් ව තිබූ වන්දි ගෙවීමෙන් පසු පවරාගන්නා ලද ඉඩමෙන් වසර 108 කට පසු ව හිමේෂ් ජයසිංහ ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් පළමු වරට මෙම ශාකය නැවත සොයා ගන්නා ලදී. ඉන් පසු ව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන කිහිපයකින් මෙම ශාක විශේෂය වාර්තා කිරීමට ද හැකි වී ඇත.
2021 වසරේ දී පරිසර අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලේඛණයේ මෙම ශාකය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ (Critically Endangered – CR) ශාකයක් ලෙස නම් කර තිබේ. ඊට හේතුව පළමු ව වඳවී ගොස් ඇතැයි විශ්වාස කළ මෙම ශාකය 2019 වසරේ දී නැවත වාර්තා කිරීම හා ඉතා ම සුළු ස්ථාන ගණනකින් පමණක් ස්වාභාවික ව මෙම ශාකය වාර්තා වී තිබීම ය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ ඇති VIII වන උප ලේඛණයේ පඬු කරඳ ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස ලේඛණ ගත කර ඇත. ඒ අනුව එවැනි ශාකයක් කපා ඉවත් කිරීම ඇතුළු කුමන ආකාරයක හෝ හානි සිදු කිරීමක් නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීම පනතේ 67ආ1 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වරදක් වේ. එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකුට එරෙහි ව පනතේ 67ඈ1 උප වගන්තියට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සංඥ්ය වැරදි හා සම්බන්ධ විධි විධාන ක්‍රියාවේ යෙදවිය හැකි ය. එවන් පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 10,000 ත් 20,000 ත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව මෙවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට අනුබල ලබා දෙන පුද්ගලයකු ද එම වරදට ම වරදකරුවකු වන බව පනතේ 59 වන වගන්තියේ සඳහන් කර ඇත.
2023 ජූලි මස 10 වන දින සිදු කළ මෙම පඬු කරඳ ශාකය විනාශ කිරීමේ නීති විරෝධී ක්‍රියාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු ය. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතුලුවගේ, අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් පමණක් නොව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ආර්. එම්. ජේ. එන්. රත්නායක ඇතුළු සියලූ ම නිලධාරීන් මෙම ආරක්ෂිත ශාකය විනාශ කිරීමට වගකිව යුතු ය.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධි විධානවලට අනුව මේ සියලූ ම නිලධාරීන් හා අමාතයවරයා මෙම පඬු කරඳ ශාකය විනාශ කිරීමට වරදකරුවන් වන්නේ ඔවුන් විසින් ලබා දුන් නිර්දේශ මත මෙය සිදු කර තිබීමෙනි. එසේ නොමැති ව බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නන් හතර දෙනෙකුට මෙවැනි විනාශයක් සිදු කළ නොහැකි ය. මේ නිසා මේ පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදු කර නීති විරෝධී ක්‍රියාවේ නිරත වූ සියලු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර මෙම ශාකයේ කොටස් සංරක්ෂණය කිරීම සඳහා ද සැලැසුම් ක්‍රියාත්මක කළ යුතු ය.
එපමණක් නොව තිරසර සංවර්ධනය වැනි පරිසර මූලධර්ම මත පදනම් වූ අණ පනත් යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා අමාත්‍යවරුන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම රටේ ජනතාව ගේ මෙන් ම අනාගත පරපුරේ අවාසනාවකි.
මේ නිසා පරිසර යුක්තිය, තිරසර සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත වූ රටක් ගොඩ නැගීම ගැන සිතන පුරවැසියන් ලෙස මීට එරෙහි ව ක්‍රියාත්මක වීමට සියලු ජනතාව ඒකරාශී විය යුතු ව ඇත. එය විනාශ කළ පඬු කරඳ ශාකය නැවත ගොඩනැගීමට නොව වත්මන් පාලකයන් විසින් විනාශ කරන රටේ සමස්ත ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස ය.
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

සංහිඳියාව ගොඩනැගීම උදෙසා භාෂාව යොදා ගැනීම මගින් සමාජයට සුවිශේෂී ධනාත්මක බලපෑමක් සිදු කළ හැකි බවත්, මානව දයාවෙන් යුක්තව ආදරණිය පණිවුඩ සම්ප්‍රේෂණය උදෙසා භාෂාව උපයුක්ත කරගත හැකි බවත් මාතලේ හින්දු විද්‍යාලයේ විදුහල්පති එස්. ගනේෂමූර්ති මහතා පැවසුවේය.
ඒ් මහතා මේ බැව් පැවසූයේ ඉකුත් 5 වන දා මාතලේ දිසා ලේකම් කාර්යාලයීය වීර කැප්පෙටිපොල ශාලාවේ පැවැති රාජ්‍ය භාෂා දින දිස්ත්‍රික් වැඩ සටහනේ ආරාධිත දෙසුම සිදු කරමින්ය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩ සටහන සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියෝ රැසක් එක්ව සිටියහ.
සංහිදියාව සඳහා භාෂාව මැයෙන් සිදු කළ දේශනයේ දී ඒ් මහතා වැඩිදුරටත් පැවසූවේ.
මානවයාගේ සාමූහික ජීවන පැවැත්මේ ආරම්භය භාෂාව නිපදවා ගැනීම දක්වා දිවෙන බවය.
.ප්‍රාථමික මානවයා දේහ- බස සබැඳි අවාචික සන්නිවේදනය පදනම් කොටගෙන මුවින් නැඟූ ප්‍රාථමික නාද රටා ඔස්සේ තම සමූහය අතර අදහස් හා තොරතුරු හුවමාරු සිදුකරගෙන ඇති අතර මානව චින්තන ක්‍රමය දියුණුවත් සමඟ ශබ්ද හා සංකේත සමුදායක් ලෙස භාෂාව නිර්මාණය කර ගනිමින් සංකීර්ණ අදහස් සවිස්තරාත්මකව දැනවීමේ අවියක් ලෙස භාෂාව නිපදවා ගන්නට විය. එහෙයින් භාෂාව නිපදවා ගැනීම මානවවංශ ඉතිහාසය පුරා මිනිසා ලද අද්විතීයම ජයග්‍රහණය ලෙස දැක්වීම නිවැරදි ය. මානවයා අත්පත් කරගත් සියලුම ජයග්‍රහණ සඳහා ඔහුගේ භාෂා සන්නිවේදන හැකියාවන් ප්‍රධාන කොටම හේතු වී තිබේ.
භාෂාව උකහා ගැනීම මානවයාට පමණක් සුවිශේෂී වූ හැකියාවකි. මිනිසාගේ සමාජානුයෝජනයේ වැදගත්ම අංගයක් වන්නේ එම සමාජයට අයත් භාෂාව උකහා ගැනීම හා ව්‍යවහාරයට හුරු වීමයි. ඔහු එම සමාජය සමඟ ගොඩනගා ගන්නා සියලු සබඳතාවන් හි සම්බන්ධීකාරකයා බවට පත් වන්නේ භාෂාවයි.
භාෂාව නිපදවා ගැනීමේ හැකියාව ලොව සෑම මිනිස් ප්‍රජාවකට ම හිමි වී තිබේ.මිනිසුන්ගෙන් තොර භාෂාවක්ද, භාෂාවකින් තොර මිනිස් ජාතියක් ද දක්නට නොමැත. භාෂාව හා මිනිස් ජීවිතය එතරම් ම අවියෝජනීයව බැඳී පවතින්නකි. භාෂාව පදනම් කරගෙන විවිධ ජාතීන් අතර සංහිදියාව ගොඩ නැගිය යුතුව ඇතත් බොහෝ විට සිදුව ඇත්තේ භාෂාව පදනම් කරගෙන ජාතීන් සහ සංස්කෘතීන් වශයෙන් බෙදී යාම බව ද ඒ් මහතා අවධාරණය කළේය.
සිංහල ජාතීය විසින් තමාට ලබාදුන් දේවල් අමතක කොට ලබා නොදුන් දේවල් පිළිබඳ පමණක් ප්‍රශ්න කිරීම දමිළ ජනයා විසින් සිදු නොකළ යුතු බවද සදහන් කළ ඒ් මහතා බෞද්ධ දර්ශනය තුළ ඇති සරල අල්පේච්ඡ ජීවිතයේ වැදගත්කම පිළිබඳව පෙන්වා දුන් ගනේෂන් මූර්ති මහතා සියලු දෙනා මනුෂ්‍යත්වය ගොඩනගා ගෙන එක මවකගේ දරුවන් ලෙස ජීවත් විය යුතු බව ද පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) රිස්මිනා රියාල්දීන්, මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ආසිරි එරංග පුෂ්පකුමාර, යටවත්ත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ගොඩමුන්නේ, ආචාර්ය ඩී. එන්. එන් ආරච්චිගේ මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.
සටහන:
චානිකා මධුෂාණි අබේවික්‍රම
සෙයාරු ;- මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය